මඩකලපුවේ මෛත්‍රී කාර්යාලයකට මැර ප්‍රහාරයක්

විපක්ෂයේ පොදු අපේක්ෂක මෛත්‍රීපාල සිරිසේනගේ, මඩකලපුව සන්දිවේලි මැතිවරණ ප්‍රචාරක කාර්යාලයට අද (බදාදා) අලුයම ප්‍රහාරයක් එල්ල වී තිබේ.

වාහන කිහිපයකින් පැමිණි පිරිසක් කාර්යාලයේ දේපළ වලට හානි කර ඒවාට ගිනි තබා, කාර්යාලයට පෙට්රෝල් බෝම්බ ගසා පලා ගොස් ඇති බවයි වාර්තා වන්නේ.

සිද්ධිය වූ අවස්ථාවේ එම කාර්යාලයේ සිටි, නම ප්‍රකාශ කිරීමට අකමැති පුද්ගලයෙක් පැවසුවේ මධ්‍යම රාත්‍රී 12.30 ට පමණ වාහන තුනකින් පැමිණි තිස් දෙනෙකු පමණ පිරිසක් මෙම ප්‍රහාරය එල්ල කළ බවයි.

ඉන් දෙදෙනෙකු අතර ගිණි අවි තිබුණු බවත් කාර්යාලය වසා දමන බවට තමන්ට තර්ජනය කළ බවත් ඔහු කියා සිටියේය.

ප්‍රහාරය සඳහා පැමිණි වාහන සිවනේසතුරෛ චන්ද්‍රකාන්තන් හෙවත් පිල්ලෙයාන්ගේ නායකත්වයේ පවතින TMVP පක්ෂයට අයත් ඒවා බව තමන් හඳුනා ගත් බවද ඉහත කී පුද්ගලයා බීබීසීයට ප්‍රකාශ කළේය.

මෙහිදී වෙඩි කිහිපයක් තබා ඇති මුත් කිසිවෙකු තුවාල ලබා නැති බවයි වාර්තා වන්නේ.

සැක පිට දෙදෙනෙකු අත්අඩංගුවට ගත් බව ප්‍රාදේශීය නිලධාරීන් පවසතත් එය නිල වශයෙන් තවම පොලිසිය නිවේදනය කර නැත.

මේ පිළිබඳව ප්‍රතිචාර ලබා ගැනීම සඳහා TMVP පක්ෂය සම්බන්ධ කර ගැනීමට බීබීබීය දැරූ උත්සාහය සාර්ථක නොවූ අතර ඔවුන් මේ දක්වා තම පක්ෂයට එල්ල වී ඇති චෝදනා පිළිබඳව කිසිවක් ප්‍රකාශ කර නොමැත.

මේ පුවතට සම්බන්ධ තවත් විස්තර