බදුල්ල නායයාමෙන් 19 ක් ජීවිතක්ෂයට

Image copyright AP

ගතවගිය දින කිහිපය ඇතුලත වාර්තා වූ ධාරානිපාත වර්ෂාවෙන් අනතුරුව බදුල්ල දිස්ත්‍රික්කයේ හටගත් නායයාම්වලින් 19 දෙනකුවත් ජීවිතක්ෂයට පත්ව ඇති බව බලධාරීහු පවසති.

ඒ අතරින් මළසිරුරු 11 ක් දැනටමත් සොයාගෙන තිබෙන බව බදුල්ල දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ, ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ සහකාර අධ්‍යක්ෂ එච්එම්එල් උදයකුමාර බීබීසී යට පැවසීය.

ලුණුගල, බණ්ඩාරවෙල, ඌව පරණගම, පස්සර යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශවල නායයාමේ අවදානම වැඩි බවත් ඔහු සඳහන් කළේය.

බදුල්ල නගරය ආසන්නයේ පිහිටි රිල්පොල, මොරගොල්ලේ සිකුරාදා උදෑසන හටගත් නායයාමෙන් නිවාස පහක් යට වී‍ ඇති බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව පවසයි.

දිවි බේරාගත් තරුණියක්

බදුල්ල දිස්ත්‍රික් ලේකම්වරයාගේ සහ ආපදා කළමනාකරණ අමාත්‍යවරයාගේ මෙහෙයවීමෙන් අතුරුදන්වූවන් සෙවීමේ සහ සහන කටයුතු කටයුතු ආරම්භ කර තිබෙන නමුත්, පවතින අවදානම් සහගත තත්වය හේතුවෙන් රිල්පොල නායගිය ස්ථානයේ දිවි බේරාගත් අය සෙවීමේ මෙහෙයුම නවතා දැමීමට සිදුවූ බවද සහකාර අධ්‍යක්ෂ එච්එම්එල් උදයකුමාර සඳහන් කළේය.

නායයාමෙන් අනතුරුව දිවි බේරාගත් එක තරුණියක් බදුල්ල රෝහලට ඇතුලත් කොට තිබෙන බව ප්‍රාදේශීය මාධ්‍යවේදී ලසන්ත ද සිල්වා බීබීසී සංදේශයට පැවසීය.

කෙසේ නමුත් පස් කන්දකට යට වූ බදුල්ල රෝහලේ හෙද නිලධාරිනියක් සිය දරුවන් දෙදෙනා, සොහොයුරන් දෙදෙනා සහ තමන් බේරාගන්නා මෙන් සහෝදර සේවකයන්ට දුරකථන ඇමතුමක් දී ඉල්ලීමක් කර තිබෙන නමුත් එම ස්ථානය නැවත නායයාම හේතුවෙන් මෙතෙක් ඔවුන් බේරාගැනීමට හැකි වී නැති බවත් ලසන්ත ද සිල්වා පැවසීය.

“දැන් ඒ දුරකථනය ක්‍රියාවිරහිත වෙලා,” යනුවෙන්ද ඔහු සඳහන් කළේය.

දිස්ත්‍රික්ක 11 ක් අවදානමේ

අයහපත් කාලගුණය හේතුවෙන් බදුල්ලේ දුම්රිය ගමනාගමනය ඇතුළු බොහෝ ප්‍රවාහන කටයුතු අඩපන වී තිබේ.

පවතින අයහපත් කාලගුණය හේතුවෙන් ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය දිස්ති‍්‍රක්ක 11කට නිකුත් කර තිබූ නායයෑම් අවදානම තවදුරටත් දීර්ඝ කර තිබෙන බව මේ අතර ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව පවසයි.

මාතලේ, මහනුවර, බදුල්ල, නුවරඑලිය, රත්නපුර, හම්බන්තොට, කෑගල්ල, කුරුණෑගල, කළුතර, ගාල්ල සහ මාතර දිස්ති‍්‍රක්කවලට මෙම නායයෑමේ අවදානම ප‍්‍රකාශයට පත්කර තිබේ.