ඔබේ දුරකථනයේ හෝ පරිගණකයේ මෙය වාදනය කිරීමට අදාළ මෘදුකාංග නැත

‘හමුදා භටයන් මුද්දර ඇලවීමට යොදා ගත්තේ නැහැ’-තැපැල්පති

මහින්ද රාජපක්ෂ ජනාධිපති වරයාගේ රුව ඇතුළත් තැපෑලෙන් යැවෙන ප්‍රචාරක පත්‍රිකා තොගයකට මුද්දර ඇලවීම සඳහා යුද හමුදා සෙබළුන් යොදා ගැනීමේ සිද්ධියක් සම්බන්ධයෙන් ට්‍රාන්ස්පෙරන්සි ඉන්ටනැෂනල් ශ්‍රී ලංකා ආයතනය විරෝධය පළ කරයි.

මධ්‍යම තැපැල් කාර්යාලය තුළ සිදු කෙරුණ ඉහත කී ක්‍රියාව බරපතළ අන්දමින් මැතිවරණ නීති උල්ලංඝනය කිරීමක් මෙන් ම රාජ්‍ය දේපළ අයථා ලෙස පරිහරණය කිරීමක් ද වන බවයි, ට්‍රාන්ස්පෙරන්සි ඉන්ටනැෂනල් ශ්‍රී ලංකා ආයතනයේ අධ්‍යක්‍ෂ ශාන් විජේතුංග බීබීසී සංදේශය කළ විමසීමක දී කියා සිටියේ.

ජනපතිවරණයේ පොදු දේපොළ අයථා ආකාරයට පරිහරණය කිරීම නිරීක්ෂණයේ යෙදෙන ට්‍රාන්ස්පෙරන්සි ඉන්ටනැෂනල් ශ්‍රී ලංකා ආයතනය එල්ල කරන ඉහත කී චෝදනාව ශ්‍රී ලංකා යුද හමුදාව විසින් ප්‍රතික්ෂේප කරනු ලබයි.

‘වැරදි චෝදනාවක්’

‘මධ්‍යම තැපැල් හුවමාරුව ඔස්සේ ශ්‍රී ලංකා යුද හමුදාව විසින් බෙදා හරිනු ලබන්නේ, යුද හමුදාව සාම්ප්‍රදායිකව සිදු කෙරෙන සන්නිවේදන ක්‍රියාවලියේ එක් පියවරක් පමණයි’ හමුදා ප්‍රකාශක බ්‍රිගේඩියර් රුවන් වනිගසූරිය එම චෝදනා බැහැර කරමින් කියා සිටියේය.

“සේනාධිනායකයාගේ ඡායාරූපය පළ වූ පමණින් එය දේශපාලන මතවාදයක් ප්‍රචාරය කිරීමට පළ කෙරෙන්නක් යයි මතවාදයක් ප්‍රචාරය කිරීමේ කිසිදු සාධාරණත්වයක් නැහැ’ යුද හමුදා ප්‍රකාශකයා පවසයි.

කෙසේ නමුත් මැතිවරණ කොමසාරිස්වරයාගේ නියෝගයක් අනුව එම ලිපි බෙදාහැරීම මේ වනවිට අත්හිටුවා තිබෙන බව තැපැල්පති රෝහණ අබේරත්න බීබීසී සංදේශය කළ විමසීමක දී සඳහන් කළේය.

බෙදාහැරීම පිණිස එවැනි ලිපි ලක්ෂ දෙකක් පමණ තමන්ට ලැබී තිබෙන බව තැපැල්පතිවරයා පිළි ගනී.

එහෙත් අදාළ ලිපිවල මුද්දර ඇලවීම පිණිස හමුදා භටයන් යොදා ගත් බවට එල්ල වන චෝදනාව ඔහු ප්‍රතික්ෂේප කළේය.