floods  hambantota
ඔබේ දුරකථනයේ හෝ පරිගණකයේ මෙය වාදනය කිරීමට අදාළ මෘදුකාංග නැත

ගංවතුරින් අනාථයන් දශ ලක්ෂයක්

මහ වැසි ගංවතුර සහ නාය යාම් නිසා දිවයින පුරා දිස්ත්‍රික්ක දාහතක දශ ලක්ෂයකට ආසන්න ජනකායක් අසීරු තත්වයක පසු වෙන බව නිල සංඛ්‍යා ලේඛන වලින් ප්‍රකාශ වෙයි.

ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ සරත් ලාල් කුමාර බීබීසී සංදේශයට ප්‍රකාශයක් කරමින් විපතට පත් ව සිටින ජනතාවට සහන සැලසීමට පියවර ගනිමින් ඇති බවයි සඳහන් කළේ.

‘දිවයිනේ දිස්ත්‍රික්ක දාහතක පවුල් 258319 ක් අසරණ වී සිටිනවා. එම පවුල්වලට අයත් පුද්ගලයන් 937671 ක් පීඩාකාරී තත්වයක සිටින බවයි වාර්තා වන්නේ. ඒ අතරම මරණ පහළොවක්, අතුරුදහන් වීම් දොළහක් සහ තුවාල කරුවන් පහළොවක් ගැන වාර්තා වී තිබෙනවා’ නියෝජ්‍ය අධ්‍යක්ෂ සරත් ලාල් කුමාර පවසයි.

නිවාස පූර්ණ හානි 4182 ක් සහ නිවාස අර්ධ හානි 13032 ක් වාර්තා වෙන බවත් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ නියෝජ්‍ය අධ්‍යක්ෂවරයා කියා සිටියි.

‘ශුභ සාධක කඳවුරු 413 ක පවුල් 24146 ක් නවාතැන් ගෙන සිටිනවා. එසේ රැඳී සිටින පුද්ගල සංඛ්‍යාව 83510 ක් බවයි වාර්තා වන්නේ’ ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ සරත් ලාල් කුමාර පවසයි.

රිල්පොල ඛේදවාචකය

Image copyright AP

රිල්පොල නාය යාමට අමතරව බදුල්ල දිස්ත්‍රික්කයේ නාය යාම් කීපයකින් තවත් මරණ පහක් වාර්තා වී ඇති බව මාධ්‍යවේදී ලසන්ත ද සිල්වා බීබීසියට වාර්තා කරයි.

ඒ අනුව මේ දක්වා බදුල්ල දිස්ත්‍රික්කයෙන් හමු වී ඇති නාය යාම් මරණ සංඛ්‍යාව දොළහක් බවට පත් වෙයි.

උඩුවර ප්‍රදේශයේ නාය යාමකට දෙදෙනකු ගොදුරු වී ඇති බවට අදහස් පළ වීමත් සමඟ එම මෘත ශරීර සෙවීමේ සෝදිසි මෙහෙයුමක් ආරම්භ කොට ඇති බවත් ලසන්ත ද සිල්වා පවසයි.

ඌව පළාතේ පස් කඳු කඩා වැටීම නිසා රථවාහන සහ දුම්රිය ගමනාගමනයට විශාල බාධාවක් එල්ල වී ඇති අතර අවතැන්වූවන් පදිංචි කරවීම සඳහා අවශ්‍ය ඉඩම් සොයා ගැනීම බලධාරීන්ට ගැට‍ළුවක් වී ඇත.

මින්නේරිය වැව් බැම්ම

ග්‍රාම සේවක වසම් තිස් නවයක පවුල් පන්දාස් දෙසීයක් ගංවතුර උවදුරට ගොදුරු වී ඇති බව තක්ෂිලා දිල්රුක්ෂි ජයසේන පොළොන්නරුවේ සිට වාර්තා කරයි.

‘මනම්පිටිය සහ ගල්ලෑල්ල මාර්ගය අඩි පහක් පමණ ජලයෙන් යට වී ඇති නිසා රථවාහන ගමනාගමනය සහමුලින්ම ඇනහිට තිබෙනවා. මින්නේරිය වැව බැම්ම මත පැල්ම නිසා වැලි කොට්ට යොදා ආරක්ෂාව සැලසීමට සිදු වුනා’ තක්ෂිලා දිල්රුක්ෂි ජයසේන පවසන්නීය.

Image copyright bbc

මේ අතර අම්පාර දිස්ත්‍රික්කයේ අනාථ කඳවුරු විසි පහක පවුල් 3513 ක සාමාජිකයන් රැඳී සිටින බව වසන්ත චන්ද්‍රපාල වාර්තා කරයි.

එම අනාථ ජන සංඛ්‍යාව 11685 කි.

‘දරුණු තත්වයක් පවතින්නේ පොතුවිල් සහ පානම ප්‍රදේශ වලයි. දැනටත් පානම ගම්මානය ජලයෙන් යට වී තිබෙනවා. අම්පාර ප්‍රදේශයේ පූර්ණ නිවාස හානි හට දෙකක් ද අර්ධ නිවාස හානි 410 ක් ද වාර්තා වෙනවා’ වසන්ත චන්ද්‍රපාල පවසයි.

ඊට අමතරව මහා මාර්ග විනාශ වී ඇති අතර අනාථ තත්වයේ පසු වන්නන්ට වියලි ආහාර සැපයීම් සිදු කෙරෙන බවත් ඔහු සඳහන් කරයි.

සහන සේවා

ගංවතුර සහ නාය යාම් මගින් අනාථ වී සිටින ජනතාව සම්බන්ධයෙන් රජය මගින් සලසන සහන සේවාවන් පිළිබඳ ව ප්‍රකාශයක් කරමින් ආපදා කළමනාකරණ කටයුතු භාර ඇමති මහින්ද අමරවීර කියා සිටියේ, රජයක් විධියට මහජනයාට දිය යුතු සියලු සහයෝගය දෙන බවයි.

එසේම දිගටම අහිතකර කාලගුණ තත්වයක් පවතින බවට විශේෂඥයන් විසින් අනතුරු අඟවා ඇති හෙයින් එම උපදෙස් පිළිපදින මෙන් ඇමතිවරයා මහජනයාගෙන් ඉල්ලීමක් ද කළේය.