ඔබේ දුරකථනයේ හෝ පරිගණකයේ මෙය වාදනය කිරීමට අදාළ මෘදුකාංග නැත

සුනාමිය: 'බඩගින්නට ජාති, ආගම් භේදයක් නැහැ'

මෙයින් දස වසරකට පෙර ශ්‍රී ලංකාවේ මුහුදු තීරය ගිල ගත් සුනාමි රකුසාගේ ග්‍රහණයට හසු වූ බහුතරය කාන්තාවන් සහ කුඩා දරුවන්.

සුනාමියෙන් දරුවන් දහස් ගණනකගේ ජීවිත අහිමි වූ අතර, තවත් දහස් සංඛ්‍යාත දරුවන් පිරිසක් අනාථභාවයට පත් වූහ.

දෙමව්පියන් දෙදෙනාම අහිමි වූ දරුවන් මෙන්ම මව හෝ පියා පමණක් අහිමි වූ දරුවන් විශාල පිරිසක් අනාථ කඳවුරුවල රැකවරණ ලැබූහ.

තලවතුගොඩ ධම්මදීපනී මෙහෙණින් වහන්සේ එසේ කඳවුරු ගත කෙරුණු දරුවන් දහසකට ආසන්න පිරිසකගේ මනස් සුවපත් කිරීමේ වගකීම භාර ගත් දසසිල් මාතාවක්.

‘සුනාමි කඳවුරුවල හිටියා හුඟාක් පුංචි දරුවෝ. සමහර දරුවන්ට නෑයෙක්වත් නැහැ. තනිවෙලා. ඒ වගේ හිටපු ළමයින්ට තමයි මම කවුන්සලින් කළේ’ යනුවෙන් තලවතුගොඩ ධම්මදීපනී මෙහෙණින් වහන්සේ පැවසුවේ සංදේශයේ සරෝජ් පතිරණ සමග සිය අත්දැකීම විස්තර කරමින්.

විපතට පත් දරුවන්ගේ මනස යථා තත්වයට ගෙන ඒම සඳහා අවශ්‍ය මානසික උපදේශන ලබා දීමට ප්‍රථම ඔවුන්ට චිත්‍ර ඇදීමට අවස්ථාව ලබා දී ඒ හරහා ඔවුන්ගේ මනස තේරුම් ගත් බවයි තලවතුගොඩ ධම්මදීපනී මෙහෙණින් වහන්සේ කියා සිටියේ.

සමගිය

අනතුරුව එම චිත්‍රය පදනම් කර ගනිමින් දරුවා සමග සාකච්චා කළ බවත් තලවතුගොඩ ධම්මදීපනී මෙහෙණින් වහන්සේ පැවසූහ.

‘චිත්‍රය හරහා ළමයා සමග සාකච්ඡා කරනවා. පුතේ මේ චිත්‍රය ඇන්දේ ඇයි ඔයා කියලා ඒ විදිහට දරුවා සමීප කරගෙන, දරුවට ආදරයෙන් කරුණාවෙන් කතා කරලා අහනකොට ඒ දරුවාගේ මනස ඇතුලේ තියන සියලු දේ එළියට ගන්න පුළුවන්’ තලවතුගොඩ ධම්මදීපනී මෙහෙණින් වහන්සේ සිය අත්දැකීම විස්තර කළේ එලෙසින්.

කඳවුරුවල සිටි සිංහල, දෙමළ සහ මුස්ලිම් විපතට පත් සියලුම පිරිස් වෙත සමීප වී මානසික උපදේශන ලබා දුන් බවයි තලවතුගොඩ ධම්මදීපනී මෙහෙණින් වහන්සේ සඳහන් කළේ.

'ද්‍රවිඩ අය, සිංහල අය, මුස්ලිම් අය. කිසිම භේදයක් තිබුණේ නැහැ. ඒ අය අපි ලඟට සමීප වුණා. අපිත් ඒ අයට සමීප උනා. අපේ කිසිම භේදයක් තිබුණේ නැහැ මේගොල්ලෝ මුස්ලිම්, මේගොල්ලෝ දෙමළ, කාටත් සමානව, කාටත් එක වගේම කවුන්සලින් කරන්න ලැබුණා’ තලවතුගොඩ ධම්මදීපනී මෙහෙණින් වහන්සේ අතීතය සිහිපත් කරමින් පැවසූහ.

‘ඒ ගොල්ලෝ ඔක්කොම එකම බත් හැළියේ කවුරු හරි දෙන කෑම වේලනේ කන්නේ. ඒ ටික ඒ අයට පෙන්නලා දුන්නා. දැන් ඔක්කොම සමාන තත්වයකට වැටිලා කඳවුරුවල ජීවත් වෙන්න සිද්ධ වුණානේ. එතනදී ඒ අයගේ නෑනේ බඩගින්නට භේදයක්. ඒ අයට මතු කරලා පෙන්නුවම, අර සමගිය තවත් තහවුරු වුණා’ යනුවෙන් සුනාමියෙන් විපතට පත් දරුවන්ගේ මනස් සුවපත් කළ තලවතුගොඩ ධම්මදීපනී මෙහෙණින් වහන්සේ වැඩි දුරටත් කියා සිටියහ.