ඔබේ දුරකථනයේ හෝ පරිගණකයේ මෙය වාදනය කිරීමට අදාළ මෘදුකාංග නැත

කුඹුක්ගැටේ කලා ‘සංග්‍රහය’

‘අලුත් පරපුර’ සංවිධානයේ කලාකරුවන් කණ්ඩායමක් අද කුරුණෑගල කුඹුක්ගැටේ කරා ලඟා වුණේ ජනතාව දැනුවත් කිරීමේ වැඩසටහනකට සහභාගී වීමටයි.

ඔවුන්ගේ ප්‍රසංගය නම් කරනු ලැබ තිබුණේ ‘මුලාවෙන් මිදෙමු’ යනුවෙන්.

කුඹුක්ගැටේ මංසන්ධියට ලඟා වූ කලාකරුවන්ට මුහුණ දීමට සිදු වුනේ ජීවිතයේ කිසිදාක නො ලද බිහිසුණු අත්දැකීමකට.

ලක්ෂ්මන් විජේසේකර ඇතුළු ප්‍රවීණ කලාකරුවන් අතර සමනලී ෆොන්සේකා සහ අමා විජේසේකර ඇතුළු නව පරපුරේ ශිල්පිනියන්ද සිටි අතර තිස් දෙනකුගෙන් පමණ යුත් කණ්ඩායමක් ඔවුන් වෙත කඩා පැන පහර දුන් බවයි වාර්තා වන්නේ.

සමනලී රෝහලේ

ප්‍රහාරකයන්ගේ අණසක ඉදිරියේ එහි සිටි පොලිස් නිලධාරීන්ට ද කිසිවක් කරකියා ගත නොහැකි වූ බවයි සිද්ධිය දුටුවන් පවසන්නේ.

ගල් පහර නිසා තුවාල ලද සිනමා නිළි සමනලී ෆොන්සේකා ඇතුළු ශිල්පීන් සහ ශිල්පිනියන් කීප දෙනකුට කුරුණෑගල රෝහලින් ප්‍රතිකාර ලබා ගැනීමට සිදු විය.

ඉන්ද්‍රචාප ලියනගේ මොහාන් රාජ් මඩවල විහඟ විජේසේකර කෞශල්‍ය කුමාරසිංහ සහ ජගත් මනුවර්ණ ඇතුළු නව පරපුරේ කලාකරුවෝ ද ඉහත කී ප්‍රසංගයට එක් ව සිටියහ.

කුඹුක් ගැටේ දී ‘අලුත් පරපුර’ කලාකරුවන්ට පහර දීම ගැන ආරක්ෂක අංශ විසින් ගනු ලැබුන පියවර පිළිබඳව බීබීසිය විමසීමක් කළ විට පොලිස් ප්‍රකාශක ජ්‍යෙෂ්ට පොලිස් අධිකාරී අජිත් රෝහණ කියා සිටියේ කිසිවකු තවම අත්අඩංගුවට ගෙන නැති අතර පරීක්ෂණ පැවැත්වෙන බවයි.