එල්ටීටීඊයට හිස ඔසවන්න දෙන්නේ නෑ - මෛත්‍රී

Image caption "මාදුළුවාවේ සෝභිත හාමුදුරුවෝ, ඒවගේම රතන හාමුදුරුවෝ මේ සියලු දෙනා කැමතිද මේ රටේ යුද්ධයක් එනවට?"

ජනවාරි අට වැනි දින පැවැත්වීමට නියමිත ජනාධිපතිවරණයේ දී තමන් බලයට පත්වුවහොත් කොටි සංවිධානයට යළි හිස එසවීමට ඉඩ නොතබන බව විපක්ෂයේ පොදු අපේක්ෂක මෛත්‍රීපාල සිරිසේන ප්‍රකාශ කරයි.

මහින්ද රාජපක්ෂ පරිපාලනයේ හිටපු ජ්‍යෙෂ්ඨ අමාත්‍යවරයා ඒ බව කියා සිටියේ ඔහු බලයට පත්වුවහොත් දෙමළ ඩයස්පෝරාවේ සහායයෙන් යළිත් වරක් එල්ටීටීඊ ය හිස ඔසවනු ඇතැයි ආණ්ඩුව කරන චෝදනාවට ප්‍රතිචාරය පළ කරමින්.

එල්ටීටීඊ යෙන් බැට කෑ සහ එයට එරෙහිව නැගී සිටි බොහෝ බලසම්පන්න නායකයන් සිය මැතිවරණ ව්‍යාපාරයට එක්ව සිටින බව පොදු අපේක්ෂක මෛත්‍රීපාල සිරිසේන මන්ත්‍රීවරයා අවධාරණය කළේය.

"ජනරාල් සරත් ෆොන්සේකා මේ සටනේ ඉන්න නායකයෙක්. එතුමා දෙනවද එල්ටීටීඊ යට ඔලුව උස්සන්න? මාදුළුවාවේ සෝභිත හාමුදුරුවෝ, ඒවගේම රතන හාමුදුරුවෝ මේ සියලු දෙනා කැමතිද මේ රටේ යුද්ධයක් එනවට?" යනුවෙන් ඔහු ප්‍රශ්න කළේය.

ක්‍රීඩකයන් මෙන්ම ආබාධිත සෙබළුන් ද මැතිවරණය වෙනුවෙන් වෙන්දේසියේ දමා ඇති බවට හිටපු නියෝජ්‍ය අමාත්‍ය එම් කේ ඩී එස් ගුණවර්ධන අමාත්‍යවරයාගේ ගෙවත්තේ පැවති රැස්වීමේදී අර්ජුන රණතුංග මන්ත්‍රීවරයා ආණ්ඩුවට චෝදනා එල්ල කළේය.

"අත් කකුල් නැතිව ඉන්න වීරෝධාර සෙබලුන්වත් විකුණන තත්වයකට, බංකොලොත් තත්වයකට අද ජනාධිපතුමාගේ මැතිවරණ ක්‍රියාදාමය පත්වෙලා තියෙනවා," බවයි, මන්ත්‍රීවරයා පවසන්නේ.

මේ පුවතට සම්බන්ධ තවත් විස්තර