ඔබේ දුරකථනයේ හෝ පරිගණකයේ මෙය වාදනය කිරීමට අදාළ මෘදුකාංග නැත

ඒකාධිපති ජාතික ආණ්ඩුවකට සුදානම් නැහැ - ශ්‍රීලනිප

ද්විපාර්ශ්වික දේශපාලනය විනාශ කර ජාතික ආණ්ඩුවක් පිහිටුවීම ඒකාධිපතිවාදයක් කරා රට ගෙන යෑමක් බව අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා පවසයි.

රටේ පැවැත්ම උදෙසා ද්විපාර්ශ්වික දේශපාලනයක් පැවතිය යුතු යැයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂය විශ්වාස කරන බවයි අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා කියා සිටියේ.

‘දැන් රනිල් වික්‍රමසිංහ මහත්තයලා කියන්නේ අවුරුදු දෙකක ජාතික ආණ්ඩුවක් හදනවා කියලා. මම ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ උප සභාපතිවරයා වශයෙන් වගකීමෙන් කියනවා ජාතික ආණ්ඩුවලට යෑමට සුදානම් පක්ෂයක් නෙමෙයි අපි’ යනුවෙන් අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා පැවසුවේ කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින්.

එළඹෙන ජනාධිපතිවරණය ජය ගැනීමෙන් පසු විපක්ෂයේ මන්ත්‍රීවරුන්ට සමාව ගෙන ආණ්ඩුවට එක් විය හැකි බවත් සිරිපාල ද සිල්වා අමාත්‍යවරයා කියා සිටියේය.

‘රටේ යහපත තකා ඒ අය එනවනම් අපිත් එක්ක, හැබැයි සමාව අරගෙන අපේ කොන්දේසි අනුව එන්න ඕනි. ඒ සඳහා සැලුන් දොර විවෘත්තයි’ යැයි අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා ප්‍රකාශ කළේය.

මෙම මාධ්‍ය හමුවට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහා ලේකම් අනුර ප්‍රියදර්ශන යාපා සහ ලක්‍ෂ්මන් යාපා අබේවර්ධන යන අමාත්‍යවරුද එක් වී සිටියහ.