ඔබේ දුරකථනයේ හෝ පරිගණකයේ මෙය වාදනය කිරීමට අදාළ මෘදුකාංග නැත

සල්මාන් ඛාන්: 'මිත්‍යාවක් උත්කර්ෂණය කරන මිත්‍යාවක්'

ජනාධිපති මහින්ද රාජපක්ෂ ගේ මැතිවරණ ප්‍රචාරක ව්‍යාපාරයට ජනප්‍රිය බොලිවුඩ් නළු සල්මාන් ඛාන් සහභාගී කරගැනීම 'මිත්‍යාවක් උත්කර්ෂණය කරන මිත්‍යාවක්' බව ජනප්‍රිය නළු සහ කලා විචාරක සෞම්‍ය ලියනගේ පවසයි.

විශේෂයෙන්ම ශ්‍රී ලංකාවේ පවතින වත්මන් වාතාවරණයට එරෙහිව හඬ නගන කලාකරුවන්ට එල්ල වන ප්‍රහාර සහ තර්ජන හමුවේ බොලිවුඩ් පුරවරයේ තාරුකාවක් ජනපතිවරයාගේ ප්‍රචාරක ව්‍යාපාරයට යොදා ගැනීම 'ඛේදජනක තත්වයක්' බව සෞම්‍ය ලියනගේ ගේ අදහසයි.

"මම හිතන්නේ සල්මාන් ඛාන් දන්නෙත් නෑ මේ රටේ කලාකාරයන්ට අත්වෙලා තියෙන ඉරණම කුමක්ද කියල. ඔහුට යම්කිසි හෘද සාක්ෂියක් තිබුණා නම් මම හිතන්නේ නෑ මේ වගේ ගමනක් ඒවියි කියල," යනුවෙන්ද ඔහු සඳහන් කළේය.

"මේක මහා නිර්ලජ්ජී තත්වයක්."

'රාජාණ්ඩුව පෙරලීම'

එහෙත් බොලිවුඩ් පුරවරයේ ජනප්‍රියම තාරුකාවකට එරෙහිව මෙතරම් විරෝධයක් දක්වන්නේ තමන් විපක්ෂයේ පොදු අපේක්ෂක මෛත්‍රීපාලට සිරිසේන ට සහාය දැක්වීම නිසා නොවේ දැයි බීබීසී සංදේශයේ සරෝජ් පතිරණ විමසූ අවස්ථාවේ සෞම්‍ය ලියනගේ සඳහන් කළේ, ප්‍රගතිශීලී කලාකරුවන්ට මේ අවස්ථාවේ පවතින එකම විසඳුම පවතින 'රාජාණ්ඩුව පෙරලා දැමීම' බවයි.

Image caption 'මම හිතන්නේ සල්මාන් ඛාන් දන්නෙත් නෑ මේ රටේ කලාකාරයන්ට අත්වෙලා තියෙන ඉරණම කුමක්ද කියල'

"රජ්ජුරුවන් සහ ඇමතිවරුන් නඩත්තු කරන, යටත් වැසියන් ජීවත්වන මේ ආණ්ඩුව වෙනසකට භාජනය කළ යුතුයි කියන මතයේ ඕනෑම ප්‍රගතිශීලී අදහසක් තියෙන කලාකරුවෝ ඉන්නේ. ඒකෙන් කියන්නේ නැහැ කලාව ප්‍රමුදිත වෙයි කියල නොබෝ දිනකින්," යනුවෙන්ද සෞම්‍ය ලියනගේ කියා සිටියේය.

සල්මාන් ඛාන් ඇතුළු බොලිවුඩ් නළු නිලියන් ශ්‍රී ලංකාවේ ජනපතිවරණයට සම්බන්ධවීම ලාංකීය කලා විචාරකයා විග්‍රහ කළේ, ශ්‍රී ලංකාව අත්දකිමින් සිටින 'විකාරරූපී විකට රංගනයේ එක් විකට රංගයක්' ලෙසින්.

සිහින නිර්මාණය කරන කර්මාන්තයක් වන බොලිවුඩයේ තාරුකාවන් ශ්‍රී ලංකාවට ගෙන්වීම මගින් ශ්‍රී ලංකාවේ ඡන්දදායකයන් පෙළන දෛනික ගැටලුවලට විසඳුම් දීමේ හැකියාවක් නොමැති බව අවධාරණය කරන සෞම්‍ය ලියනගේ, ඔවුන්ගේ ශ්‍රී ලංකා ආගමනය දකින්නේ 'පැය කිහිපයක ආශ්චර්යයක්' හැටියට.