ඔබේ දුරකථනයේ හෝ පරිගණකයේ මෙය වාදනය කිරීමට අදාළ මෘදුකාංග නැත

‘ජාතික ගීයත් මැතිවරණයට: දෝෂාභියෝගයකට යා හැකියි’

මැතිවරණ ප්‍රචාරක කටයුතු සඳහා ජාතික ගීයේ කොටස් උපුටා ගැනීම පිළිබඳව මාදුළුවාවේ සෝභිත හිමියෝ රජයට සිය විරෝධය පළ කර සිටිති.

කොළඹ විපක්ෂ නායක කාර්යාලයේ දී පැවති මාධ්‍ය හමුවක දී මාදුළුවාවේ සෝභිත හිමියන් කියා සිටියේ මෙය දෝෂාභියෝගයක් පවා ගෙන ආ හැකි චෝදනාවක් බවයි.

‘ජාතික ගීය ඉතාමත් වැදගත් ආකාරයට පාවිච්චි කරන්න ඕන. ඒක එක එක්කෙනාට අවශ්‍ය විදියට පාවිච්චි කරන්න බැහැ. අවසාන වශයෙන් ගත් විට දැන් ජාතික ගීයත් යොදා ගන්නවා ඡන්ද ප්‍රචාරක කටයුතුවලට. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ හැටියට දෝෂාභියෝගයකට යා හැකි චෝදනාවක්.’ මාදුළුවාවේ සෝභිත හිමියෝ පැවසුහ.

ජනාධිපතිවරයාගේ මැතිවරණ ප්‍රචාරක කටයුතු සඳහා යන වියදම මහ ජනතාවට දරන්නට සිදු වී ඇති බවට ද මාදුළුවාවේ සෝභිත හිමියෝ මෙහිදී චෝදනා කළහ.

‘මැතිවරණයට නාම යෝජනා දුන්නට පස්සේ ජනාධිපතිවරයාත් එක් අපේක්ෂකයෙක් විතරයි. මෛත්‍රිපාල සිරිසේන මහත්තයත් එක අපේක්ෂකයෙක් විතරයි. මේ දෙදෙනාටම සමාන අයිතිවාසිකම් ලැබෙන්න ඕන. ජනාධිපතිතුමා වැඩිපුර රැස්වීම් වලට යන්නේ හෙලිකොප්ටරෙන්. කොළඹ ඉඳල වාහන ටික අරගෙන යනවා. ආරක්ෂකයෝ විශාල පිරිසක් යනවා. ලංගම බස් වලින් සෙනග අදිනවා. මේ සියලුම වියදම් දරන්නේ අපි.’

තව දුරටත් මාධ්‍යවේදීන් ඇමතූ මාදුළුවාවේ සෝභිත හිමියන් රජයේ ජනමාධ්‍ය ගැනත් ජනාධිපතිවරයාගේ කටවුට් ගැනත් යමක් කියන්නට අමතක කළේ නැත.

‘රජයේ ජනමාධ්‍ය කියන්නේ මුළු මහත් ජනතාවට අයිති දේවල්. අපියි නඩත්තු කරන්නේ ඒවා. මුළු රටම දන්නවා හිරිකිත විදියට ඒ ජනමාධ්‍ය පාවිච්චි කරන හැටි. මෛත්‍රිපාල සිරිසේන මහත්තයට පිට්ටනියක් ගන්න බැහැ, දුන්නොත් දෙන්නේ මඩ වලක්. ඒ වගේම කටවුට්. මැතිවරණ කොමසාරිස්ට බලය තියෙනවා මේවා අයින් කරන්න. පොල් ගස්, පුවක් ගස් උසට ගහපු එකක්වත් අයින් කරල නැහැ. ඒවා අයින් කරන්නත් කෝටි එකහමාරක් විතර යනවලු පොලිසියට. ඒ සල්ලි ගෙවන්නෙත් අපි. නීති කඩන්නේ ඒ ගොල්ලෝ, දඩ ගෙවන්නේ අපි.’ මාදුළුවාවේ සෝභිත හිමියෝ පැවසුහ.

මාදුළුවාවේ සෝභිත හිමියන් කැඳවු මෙම මාධ්‍ය හමුවට හෙළ උරුමයේ අතුරලියේ රතන හිමියෝ ද එක් වී සිටියහ.