මැතිවරණයට හමුදාව නෑ - කොමසාරිස්

Image caption "සුලු වේලාවකට හෝ ඡන්ද විමසීම අත්හිටුවීමට සිදුවුනොත් එහි ඡන්ද විමසීම ශූන්‍ය කිරීමට පියවර ගන්නවා"

ජනාධිපතිවරණ ඡන්ද විමසීම පැවැත්වෙන අවස්ථාවේදී යම් ඡන්ද මධ්‍යස්ථානයක කලහකාරී සිදුවීමක් ඇතිවුවහොත් එහි ඡන්ද විමසීම අවලංගු කොට වෙනත් දිනයක ඡන්ද විමසීම පැවැත්වීමට පියවර ගන්නා බව මැතිවරණ කොමසාරිස් මහින්ද දේශප්‍රිය පවසයි.

කොළඹ මැතිවරණ දෙපාර්තමේන්තුවේ පැවැත්වුන මාධ්‍ය හමුවකට සහභාගි වූ මැතිවරණ කොමසාරිස්වරයා, ඉදිරි ජනාධිපතිවරණ ඡන්ද විමසීමේදී දුෂණ අක්‍රමිකතා සිදුවිය හැකි බවට පැතිරී යන ආරංචි පදනම් විරහිත බව ද සඳහන් කළේය.

යම් ඡන්ද පොලක් ආශ්‍රිතව නීතිවිරෝධී ක්‍රියාවක් ඇතිවී සුළු වේලාවක් හෝ ඡන්ද විමසීම අත් හිටුවීමට සිදුවුවොත් එහි ඡන්ද විමසීම ශුන්‍ය කරන බවයි මැතිවරණ කොමසාරිස් මහින්ද දේශප්‍රිය කියා සිටියේ.

'හමුදාව නෑ'

"යම් ඡන්ද පොළකට පැමිණෙන ඡන්ද දායකයින් පලවා හැරියොත්, එන්න නුදුන්නොත්, බලහත්කාරකමක් කළහොත්, බලෙන් ඡන්ද දැම්මොත්, ඒවා නීති විරෝධී ක්‍රියා ලෙසයි අපි සලකන්නේ," යනුවෙන් සඳහන් කළ කොමසාරිස් මහින්ද දේශප්‍රිය, "එවැනි ක්‍රියාවක් නිසා සුලු වේලාවකට හෝ ඡන්ද විමසීම අත්හිටුවීමට සිදුවුනොත් එහි ඡන්ද විමසීම ශූන්‍ය කිරීමට පියවර ගන්නවා," ලෙසින් ද වැඩිදුරටත් කියා සිටියේය.

මැතිවරණ රාජකාරි සඳහා යුද හමුදාව කැඳවීම පිළිබඳව අදහස් දැක්වූ මැතිවරණ කොමසාරිස්වරයා: "මැතිවරණයේ ආරක්ෂක රාජකාරි සදහා පොලිස් නිලධාරින් විසිදහසකට අධික පිරිසක් යෙදවීමට අපි බලාපොරොත්තු වෙනවා. එහෙත් යුද හමුදාව කැඳවීමක් සිදුවන්නේ නැහැ. යුද හමුදාව කැඳවනු ලබන්නේ පොලිස්පතිවරයාගෙන් ඉල්ලීමක් ලැබුනොත් පමණයි," යනුවෙන් කියා සිටියේය.

අයහපත් කාලගුණික තත්වය හේතුවෙන් ජනාධිපතිවරණය කල් දැමීමේ සුදානමක් නොමැති බව සඳහන් කළ කොමසාරිස්වරයා එවැනි ආපදා තත්වයක් ඇතිවුවහොත් ආපදාවට ලක්වූ ප්‍රදේශයට යාබද ප්‍රදේශයක ඡන්ද මධ්‍යස්ථාන පිහිටුවා ඡන්ද විමසීම පැවැත්වීමට නීතිමය ප්‍රතිපාදන පවතින බවද පෙන්වා දුන්නේය.

ඇතැම් ජනමාධ්‍යවලින් තමන්ට එල්ල කරන චෝදනා පදනම් විරහිත බව පවසන කොමසාරිස්වරයා, නිදහස් හා සාධාරණ ඡන්ද විමසීමක් පැවැත්වීමට අවශ්‍ය සියලු ක්‍රියාමාර්ග ගන්නා බව කියා සිටියේය.

මේ පුවතට සම්බන්ධ තවත් විස්තර