ෆයිසර් විපක්ෂ වේදිකාවේ

Image copyright newsfirst.lk

ආයෝජන ප්‍රවර්ධන නියෝජ්‍ය ඇමැති ෆයිසර් මුස්තාපා මහතා අද බදාදා (දෙසැම්බර් 31)පොදු අපේක්ෂක මෛත්‍රීපාල සිරිසේන කණ්ඩායමට එක්‌ විය.

එක්සත් ලක් වනිතා සම්මේලනයේ සමුළුවක් කොළඹ විහාර මහා දේවී උද්‍යානයේ පැවැත්වෙද්දී එම වේදිකාවට ගොඩ වූ ෆයිසර් මුස්තාපා මහතා කියා සිටියේ ජනවාරි අට වෙනිදා පැවැත්වෙන ජනාධිපතිවරණයේ දී තම සහයෝගය පොදු අපේක්ෂකයාට ලැබෙන බවයි.

එක්සත් ජාතික පක්ෂයේ කාන්තා අංශය වන එක්සත් ලක් වනිතා සම්මේලනයේ වේදිකාවට පැමිණි ආයෝජන ප්‍රවර්ධන නියෝජ්‍ය ඇමැති ෆයිසර් මුස්තාපා පිළිගන්නා ලද්දේ පොදු අපේක්ෂක මෛත්‍රීපාල සිරිසේන විසිනි.

ෆයිසර් මුස්තාපා මෙවර ජනාධිපතිවරණයේ දී සහයෝගය දෙනු ලබන්නේ කවර අපේක්ෂකයාටද යන්න පසුගිය දිනවල ජනමාධ්‍යවල සාකච්ඡාවට ලක් වෙමින් තිබුණ මාතෘකාවකි.

එම මාතෘකාව දේශපාලන කරලියේ සාකච්ඡාවට ලක් වෙමින් තිබිය දී නියෝජ්‍ය ඇමතිවරයා විදේශගත වූ අතර ආපසු සියරට ලඟා වීමෙන් අනතුරුවයි ඔහු විපක්ෂයට එකතු වුණේ.

බොදු බල සේනා

අද ඔහු එක්සත් ලක් වනිතා සම්මේලනයේ වේදිකාවට ලඟා වන අවස්ථාවේ සමුළුව අමතමින් සිටියේ විපක්ෂ නායක රනිල් වික්‍රමසිංහ බවත් මාධ්‍ය වාර්තාවන්හි දැක්වෙයි.

ජනාධිපතිවරණ ප්‍රචාරක ව්‍යාපාරය ආරම්භයේ දී ෆයිසර් මුස්තාපා එක්සත් ජනතා නිදහස් සන්ධානයට සහයෝගය පළ කරමින් මාධ්‍ය හමුවකට ද සහභාගී විය.

එක් මාධ්‍ය හමුවක දී ඔහු කියා සිටියේ බොදු බල සේනා සංවිධානය මහින්ද රාජපක්ෂ ජනාධිපති ධූර අපේක්ෂකයා වෙනුවෙන් ඉදිරිපත් වුනොත් තමා එක්සත් ජනතා නිදහස් සන්ධානයෙන් ඉවත් වෙන බවයි.

ශ්‍රී ලංකා මුස්ලිම් කොන්ග්‍රසය සහ දෙමළ ජාතික සන්ධානය පසුගිය දා පොදු අපේක්ෂකයාට සහයෝගය දෙන බව නිවේදනය කිරීමත් සමඟ බොදු බල සේනා සංවිධානය මහින්ද රාජපක්ෂ ජනාධිපති ධූර අපේක්ෂකයා බලයට පත් කරන මෙන් ඉල්ලා සිටිමින් ජනහමු කැඳවීම ආරම්භ කර ඇත.

මේ පුවතට සම්බන්ධ තවත් විස්තර