‘පච්චිලෙයිපල්ලි’ ප්‍රාදේශීය සභාව සන්ධානයට

දෙමළ ජාතික සන්ධානය පොදු අපේක්ෂක මෛත්‍රීපාල සිරිසේනට සහයෝගය පළ කරනු ලැබීමෙන් දවසකට පසුව කිළිනොච්චියේ ‘පච්චිලෙයිපල්ලි’ ප්‍රාදේශීය සභාවේ බලය එක්සත් ජනතා නිදහස් සන්ධානයට හිමි වන තත්වයක් උද්ගත වී ඇත.

එම ප්‍රාදේශීය සභාවේ සභාපති ඩොමිනික් ඇන්ටන් අද (31)වවුනියාවේ පැවති මාධ්‍ය හමුවකදී ප්‍රකාශ කළේ, තමාද ඇතුළත් මන්ත්‍රීවරුන් හතර දෙනෙකු දෙමළ ජාතික සන්ධානය අතහැර එක්සත් ජනතා නිදහස් සන්ධානයට එක් වන බවයි.

‘පච්චිලෙයිපල්ලි’ ප්‍රාදේශීය සභාවේ දෙමළ ජාතික සන්ධානයේ මන්ත්‍රීවරුන් හය දෙනකු සහ ඊ.පී.ඩී.පී.සංවිධානයේ මන්ත්‍රීවරුන් තිදෙනකු නියෝජනය වෙති.

සංවර්ධනයේ නාමයෙන්

දෙමළ ජාතික සන්ධානයේ මන්ත්‍රීවරුන් හතර දෙනෙකු මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයාට සහාය දීමට එක්වීමත් සමගම එම ප්‍රාදේශීය සභාවේ බලය එක්සත් ජනතා නිදහස් සන්ධානයට හිමි වන බවයි සභාපතිවරයා කියා සිටියේ.

රජයට සහයෝගය දීම තුළින් කිළිනොච්චියේ සංවර්ධන කටයුතු ඉතා වේගවත්ව එසේම සැලසුම් සහගත ලෙස ඉටුකර ගත හැකි බව තමන්ට වැටහීමෙන් පසුව ඒ ගැන සෙසු මන්ත්‍රීවරුන්ට ද දැණුම් දී රජයට එක්වීමට තීරණය කළ බවත් සභාපති ඩොමිනික් ඇන්ටන් පැවසීය.

විවේචනය විතරයි

‘දෙමළ ජාතික සන්ධානය රජය විවේචනය කරමින් සිටිනවා මිස දෙමළ ජනතාවට කිසිදු යහපතක් ඉටු කරන්නේ නැහැ. ඒ බව උතුරු පළාත් සභාවේ කටයුතු දෙස බලන විට ඉතා ම පැහැදිලියි’ පච්චිලෙයිපල්ලි ප්‍රාදේශීය සභාවේ සභාපති ඩොමිනික් ඇන්ටන් වැඩිදුරටත් කියා සිටියි.

2015 ජනාධිපතිවරණයේ දී මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයාට සහයෝගය දී ඔහු යළිත් ජනාධිපති පදවියට පත් කර ගත්තොත් කිළිනොච්චිය ද ඇතුළු උතුරු පළාතේ දෙමළ වැසියන්ට අවශ්‍ය පහසුකම් ඔහු ලවා ඉටුකර ගැනීමට හැකි වනු ඇත යන අපේක්ෂාව යටතේ තමන් ඉහත කී තීරණයට එළඹි බවයි ඩොමිනික් ඇන්ටන් වැඩිදුරටත් පවසන්නේ.

මේ පුවතට සම්බන්ධ තවත් විස්තර