කලපළුවාව අනතුර සිදු කළේ මොන ඩිෆෙන්ඩරයද?

Image copyright I Thilakasiriwardhana
Image caption එකම අංකය සහිත වාහන දෙක පොලිසියේ

කලපළුවාව අනතුරට වගකිවයුතු ඩිෆෙන්ඩර් රථයේ අංකයම සහිත තවත් ඩිෆෙන්ඩර් රථයක් වැලිකඩ පොලිස් භූමියේ එක ළඟ නතර කර ඇති බව එම අනතුරින් බරපතල තුවාල ලද ශිෂ්‍යාවගේ පියා පවසයි.

පසුගිය සඳුදා රාජගිරිය කලපළුවාවේ ‘රන්ගිරි’ පෙදෙසේ සිදු වූ මාර්ග අනතුරින් තුවාල ලබා සිටින්නේ සචින් තිලකරත්න නම් දහඅට හැවිරිදි යොවුන් ශිෂ්‍යයකු සහ මනෝෂි කාවින්ධ්‍යා නම් දාහත් හැවිරිදි ශිෂ්‍යාවකි.

තුවාල ලද දෙදෙනාගෙන් සචින් තිලකරත්න ශිෂ්‍යයා මේ වනවිට කොළඹ ජාතික රෝහලේ අසාධ්‍ය තත්වයක පසු වෙන බවයි වාර්තා වන්නේ.

ශිෂ්‍යයා සහ ශිෂ්‍යාව බස් රියෙන් බැස ගමන් ගනිමින් සිටියදී අධි වේගයෙන් පැමිණි ඩිෆෙන්ඩර් රථ දෙකකින් එකක් ඔවුන් දෙදෙනා යට කොට අසළ පිහිටි බස් නැවතුම් කුටියත් විනාශ කරමින් පෙරට ඇදී ගොස් මාර්ගයේ පැත්තක පස් කණ්ඩියේ සිර වී නතර වූ බවයි සිද්ධිය දුටුවන් පවසන්නේ.

මනෝෂි කාවින්ධ්‍යා ශිෂ්‍යාවගේ හානි වූ පාදයට තලංගම රෝහලේ දී ශල්‍ය කර්මයක් සිදු කර ඇති අතර සචින් තිලකරත්න ශිෂ්‍යයා තවමත් සිහිසුන් තත්වයක සිටින බවයි වාර්තා වන්නේ.

රථයේ හිමිකරු

අනතුර සම්බන්ධයෙන් බීබීසී සංදේශයට ප්‍රකාශයක් කරමින් මනෝෂි කාවින්ධ්‍යා ශිෂ්‍යාවගේ පියා සඳහන් කළේ එම ඩිෆෙන්ඩර් රථයේ හිමිකරු කවුරුන්ද යන්න දැන ගන්නට නැති බවයි.

‘විවිධ අදහස් පළ වෙමින් තියෙනවා. නමුත් ඒ වාහනය අයිති කාටද කියල අපි දන්නේ නැහැ. මේ අතර දැනට වැලිකඩ පොලිස් භූමියේ තබා ඇති අනතුර සිදු කළ වාහනයේ අංකයම සහිත තවත් වාහනයක් ද ඒ ලඟින්ම නතර කරලා තියෙනව’ මනෝෂි කාවින්ධ්‍යා ශිෂ්‍යාවගේ පියා එම්.එච්.සුනිල් පවසයි.

Image copyright Prabash
Image caption දකුණුපස පළමුවැන්නා සචින් තිලකරත්න

අනතුර සිදු කළ ඩිෆෙන්ඩර් රථයේ රියදුරු යයි කියන පුද්ගලයකුත් බන්ධනාගාර නිලධාරීන්ගේ අධීක්ෂණය යටතේ තලංගම රෝහලේ ප්‍රතිකාර ලබන අතර ඔහු අසලින් මත්පැන් ගඳක් දැනුනෙන් තමා ඒ බව රෝහලේ වෛද්‍යවරයකුට දැනුම් දුන් බවත් එම්.එච්.සුනිල් කියා සිටියි.

එකම අංකයෙන් වාහන දෙකක්

ඒ ගැන නිගමනය කිරීම සඳහා රුධිර පරීක්ෂණයක් සිදු කරන බව වෛද්‍යවරයා ප්‍රකාශ කළ බවයි එම්.එච්.සුනිල් පවසන්නේ.

මේ අතර අඟහරුවාදා සවස වැලිකඩ පොලිසියට ගිය තමාට එම භූමියේ එකම අංකයක් සහිත වාහන දෙක දක්නට ලැබුණ බවත් ඔහු වැඩිදුරටත් සඳහන් කරයි.

එසේ එක ම අංකය සහිත වාහන දෙකක් පැවතිය හැක්කේ කෙසේද යන්න ගැන පරීක්ෂණ පවත්වන බව පොලිසිය ප්‍රකාශ කළ බවත් එම්.එච්.සුනිල් පවසයි.

මුහුණ පෑමට සිදුව ඇති අවාසනාවන්ත සහ අසීරු තත්වය යටතේ නීතිඥයකුගේ පිහිට පැතීමට හෝ තවමත් කාලයක් නොලද බවත් එම්.එච්.සුනිල් කියා සිටියි.