ඔබේ දුරකථනයේ හෝ පරිගණකයේ මෙය වාදනය කිරීමට අදාළ මෘදුකාංග නැත

දවුල්දෙන මහ නාහිමි උපහාර උළෙල

ශ්‍රී ලංකා අමරපුර මහා නිකායේ මහානායක අතිපූජ්‍ය අග්ග මහා පණ්ඩිත දවුල්දෙන ශ්‍රී ඥානිස්සර මහා නාහිමියන්ගේ ජීවිතයට වසර සීයක් සම්පූර්ණ වීම නිමිත්තෙන් අද (දෙසැම්බර් 31) කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ(BMCIH) පැවැත්වුන උපහාර උළෙලට දහසකට අධික භික්ෂූන් වහන්සේ සහභාගී වූහ.

එම උපහාර උළෙල සංවිධානය කරනු ලැබ තිබුණේ දවුල්දෙන ශ්‍රී ඥානිස්සර මහා නාහිමියන්ට දීර්ඝායුෂ ප්‍රාර්ථනා කිරීම සඳහායි.

දවුල්දෙන මහ නාහිමියෝ භාෂා රාශියක විශාරදයකු වන අතර වත්මන් ශ්‍රී ලංකාවේ භික්ෂු පරපුර අතර උගත් එසේම සිල්වත් සම්භාවනීය මහා තෙර නමක් හැටියට සියලු පාර්ශ්වයන්හි සම්භාවනාවට ලක් වෙති.

ඉහත කී උපහාර උළෙලට සියලු ම නිකායයන් නියෝජනය කෙරෙමින් මහා නායක සහ අනු නායක මට්ටමේ පටන් භික්ෂූන් වහන්සේ රාශියක් සහභාගී වූ බවයි ප්‍රසාද් පූර්නිමාල් ජයමාන්න බීබීසියට වාර්තා කරන්නේ.

උපහාර උළෙලේ ප්‍රධාන ගිහි අමුත්තා වූයේ මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයායි.

ජනාධිපතිවරයා සියවස් සපිරි මහ නාහිමියන්ට පිරිකර පූජා කළ අතර තවත් දේශපාලනඥයන් කීප දෙනකු ද එහි දක්නට ලැබුණි.