ඔබේ දුරකථනයේ හෝ පරිගණකයේ මෙය වාදනය කිරීමට අදාළ මෘදුකාංග නැත

වෙනම කලාපයක් ඉල්ලුවේ නැහැ -මුස්ලිම් කොංග්‍රසය

තමන් වෙනම පරිපාලන දිස්ත්‍රික්කයක් ඉල්ලා නොසිටි බවත් අම්පාර දිස්ත්‍රික්කයේ දමිල බස කතා කරන ජනයාට වෙනම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයක් ආරම්භ කිරීම ආණ්ඩුවේම ක්‍රියා මාර්ගයක් වූ බවත් ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ නායක රවුෆ් හකීම් පෙන්වා දෙයි.

වව්නියා දිස්ත්‍රික්කය සඳහාත් රජය එවැනි ප්‍රාදේශීය ලේකම් කාර්යාලයක් පිහිටුවා ඇති බව පවසන ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ නායකයා තව දුරටත් පවසන්නේ රජය වියරු වැටී මහජනතාව නොමග යවන බවයි.

ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය ආණ්ඩුවෙන් ඉවත් වෙමින් පොදු අපේක්ෂකයාට එකතු වූ වහාම ආණ්ඩු පාර්ශවයෙන් චෝදනාවක් ඉදිරිපත් විය.

චෝදනාව

වෙනම මුස්ලිම් පරිපාලන දිස්ත්‍රික්කයක් සඳහා කරන ලද ඉල්ලීම ජනාධිපතිවරයා විසින් බැහැර කරනු ලැබීමෙන් අනතුරුව රවුෆ් හකීම් ඇමතිවරයා ආණ්ඩුව හැර ගිය බවයි එක්සත් ජනතා නිදහස් සන්ධානය මැතිවරණ වේදිකා මත පවසන්නේ.

මෙවැනි අසත්‍ය ප්‍රකාශයන් පිළිබඳව තමා කනගාටු වන බවත් මෙය ‘දේශපාලන බංකොලොත් භාවයේ සලකුණක්’ බවත් රවුෆ් හකීම් මාධ්‍ය හමුවක් කැඳවමින් කියා සිටියේය.

මීට අමතරව, උතුරු නැගෙනහිර වෙනම පරිපාලන කලාපයන් පිහිටුවීම සඳහා දෙමළ ජාතික සන්ධානය හා මුස්ලිම් කොංග්‍රසය එක් වී ගිවිසුම් ගසා ඇති බවට ද ආණ්ඩුව අසත්‍ය ප්‍රචාරයක් ගෙන යමින් පවතින බව රවුෆ් හකීම් පැවසීය.

තමා විපක්ෂයට එක් වීමේදී කිසිවෙකු සමඟ ගිවිසුම් ඇති කර නොගත් අතර රටේ යහපාලනයක් ඇති කිරීම සඳහා ආණ්ඩුවෙන් ඉවත් වී පොදු අපේක්ෂකයාට සහාය දැක්වීමට ස්වාධීනව තීරණයක් ගත් බව මුස්ලිම් කොංග්‍රසයේ නායක රවුෆ් හකීම් අවධාරණය කළේය.