කුමාර් ගුණරත්නම් ජනපතිවරණ සටනේ

තමාට ශ්‍රී ලංකාවට පැමිණීමට වීසා බලපත් ලැබුනේ පක්ෂය විසින් ගෙන යන ලද දීර්ඝ අරගලයක ප්‍රතිපලයක් නිසා යයි පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ නායක කුමාර් ගුණරත්නම් පවසයි.

ඕස්ට්‍රේලියාවේ සිට වීසා බලපත්‍රයක් යටතේ ශ්‍රී ලංකාවට ලඟා වූ කුමාර් ගුණරත්නම් එම අදහස පළ කළේ අද (ජනවාරි 01) කොළඹ පැවැත්වුන මාධ්‍ය හමුවක දී.

ජනවාරි අටවෙනි දින පැවැත්වෙන ජනාධිපතිවරණය පිළිබඳව අදහස් දැක් වූ පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ නායකයා, ප්‍රජාතන්ත්‍රවාදී ප්‍රතිසංස්කරණ සිදු කරන බවට මහින්ද රාජපක්ෂ සහ මෛත්‍රීපාල සිරිසේන යන ජනාධිපති ධූර අපේක්ෂකයන් දෙදෙනාම ප්‍රතිඥා දෙන නමුත් ඒවා ක්‍රියාවට නංවන්නේ කෙසේද යන්න පිළිබඳව ඔවුන්ට අදහසක් නොමැති බවයි සඳහන් කළේ.

එබැවින් අද ප්‍රධාන දේශපාලන බලවේග දෙකේම වැඩ පිළිවෙල සම්බන්ධයෙන් විශ්වාසයක් තැබිය නොහැකි හෙයින් වමේ පොදු අපේක්ෂකයා වශයෙන් දුමින්ද නාගමුව ඉදිරිපත් කළ බවත් කුමාර් ගුණරත්නම් පවසයි.

ජාතික ප්‍රශ්නය සහ ජවිපෙ

ඉහත කී මාධ්‍ය හමුවේ දී ශ්‍රී ලංකාවේ ජාතික ප්‍රශ්නය සම්බන්ධයෙන් අදහස් දැක්වූ කුමාර් ගුණරත්නම් මහින්ද රාජපක්ෂගේ හෝ මෛත්‍රීපාල සිරිසේනගේ ප්‍රතිපත්ති ප්‍රකාශන වල වාර්ගික අර්බුදය විසඳීමට ඔවුන් විසින් දෙනු ලබන විසඳුම් ඇතුළත් කර නොමැති බවත් පෙන්වා දුන්නේය.

ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලනය ගැන යොමු වූ පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ නායකයා කියා සිටියේ ජනතා විමුක්ති පෙරමුණත් මේ වන විට සාම්ප්‍රදායික දේශපාලන පක්ෂයක තත්වයට පත් වී ඇති බවයි.

ශ්‍රී ලංකාවේ වීසා නීතිය උල්ලංඝනය කරමින් අනවසරයෙන් රට තුල රැඳී සිටියේ යයි කුමාර් ගුනරත්නම්ට චෝදනා කළ බලධාරීහු මෙයින් වසර කීපයකට පෙර ඔහු ශ්‍රී ලංකාවෙන් පිටුවහල් කළ අතර මෙවර සංචාරයට පෙර සිය නායකයා වෙනුවෙන් දඩයක් ගෙවීමට පෙරටුගාමී සමාජවාදී පක්ෂයට සිදු විය.