මැතිවරණ නීති කඩන ජංගම ඩිජිටල් දර්ශන

Image copyright AFP

එක්සත් ජනතා නිදහස් සන්ධානයේ ජනාධිපති ධූර අපේක්ෂකයා වෙනුවෙන් මැතිවරණ නීතියට පටහැණි ජංගම ඩිජිටල් ප්‍රචාරක චිත්‍රපට ප්‍රදර්ශන වැඩ පිළිවෙලක් මේ වන විට ක්‍රියාත්මක වෙමින් ඇති බව ශ්‍රී ලංකා නීතිඥ සංගමය පෙන්වා දෙයි.

ඩිජිටල් තිර සවි කර ඇති වාහන මහජනයා බහුලව රැස් වෙන ස්ථාන වල නතර කොට එක්සත් ජනතා නිදහස් සන්ධානයේ අපේක්ෂකයාට වාසි සැලසෙන ප්‍රචාරක චිත්‍රපට ප්‍රදර්ශන කෙරෙමින් පවතින බවයි ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ සභාපති නීතිඥ උපුල් ජය සූරිය බීබීසිය සමඟ සාකච්ඡාවක දී කියා සිටියේ.

‘කොළඹ නගරයේ පමණක් ස්ථාවර ඩිජිටල් තිර පහළොවක් පමණ ක්‍රියාත්මක වෙනවා. මේ ඩිජිටල් තිර එකක් වෙනුවෙන් රුපියල් මිලියන ගණනින් වියදම් වෙනවා. ඒ අතරයි, ජංගම ඩිජිටල් ප්‍රචාරක චිත්‍රපට ප්‍රදර්ශන වැඩ පිළිවෙළකුත් ප්‍රසිද්ධ ස්ථානවල ක්‍රියාත්මක කෙරෙන්නේ. එය පොලිසිය නො දන්නවා නොවෙයි’ නීතිඥ උපුල් ජයසූරිය පවසයි.

එක්සත් ජනතා සන්ධානයේ ජනාධිපති ධූර අපේක්ෂකයා ගේ ප්‍රචාරක වැඩ පිළිවෙලේ කොටසක් හැටියට කොටි සංවිධානය සමඟ යුද හමුදාව සිදු කළ යුද්ධයේ දර්ශන ඉහත කී ඩිජිටල් තිර මගින් ප්‍රදර්ශනය කෙරෙන බවයි ශ්‍රී ලංකා නීතිඥ සංගමය පෙන්වා දෙන්නේ.

පොලිසියේ යුතුකම

පොලිස් ආඥා පනතේ 74 වගන්තියේ පස් වෙනි උප වගන්තිය අනුව එවැනි කවරාකාර වූ හෝ ඩිජිටල් ප්‍රකාශන තිර ඉවත් කිරීමට පොලිසියට යුතුකමක් ඇති බවත් ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ සභාපතිවරයා පෙන්වා දෙයි.

‘කිසිදු අපේක්ෂකයකුගේ ප්‍රවර්ධනය සඳහා දැන්වීම් ,කටවුට් සහ ඩිජිටල් ස්ක්‍රීන් ආදිය යොදා ගනු ලැබීම මැතිවරණ නීතිය උල්ලංඝනය කිරීමක්. එවැනි ක්‍රියාවන්ට එරෙහිව ශ්‍රී ලංකා නීතිඥ සංගමය අධිකරණය ඉදිරියේ කරුණු ගොණු කොට ඒ බව පෙන්වා දී තිබෙනවා’ ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.

ස්ථිරව අටවන ලද ඩිජිටල් තිර වෙනුවට දැන් ජංගම ඩිජිටල් ප්‍රචාරක රථ යොදා ගැනීම් ගැන වාර්තා වෙමින් පවතින බව පැෆරල් මැතිවරණ නිරීක්ෂණ ආයතනය ද පවසයි.

එම ආයතනයේ විධායක අධ්‍යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි බීබීසී සංදේශය සමඟ සාකච්ඡාවක දී කියා සිටියේ දස දහසකට අධික ජනකායක් රැස් වෙන බෙල්ලන්විල උද්‍යාන පරිසරයෙහි ඒ වන විටත් ඩිජිටල් ජංගම ප්‍රචාරක දර්ශනයක් පැවැත්වෙන බව තමාට වාර්තා වී ඇති බවයි.

මැතිවරණ නිරීක්ෂකයන්

‘බෙල්ලන්විල උද්‍යානයේ විවේකය ගත කිරීමට පැමිණෙන ජනතාව ඉලක්ක කර ගනිමින් යුද ජයග්‍රහණය සහ ඒ ආශ්‍රිත දේවල් හුවා දැක්වෙන ප්‍රචාරක චිත්‍රපට ප්‍රදර්ශනය කෙරෙන බව මට වාර්තා වී තිබෙනවා. එම ස්ථානයේ පමණක් නොව තවත් බොහෝ ස්ථාන ද ඒ සඳහා යොදා ගනිමින් පවතිනවා’ පැෆරල් මැතිවරණ නිරීක්ෂණ ආයතනයේ විධායක අධ්‍යක්ෂවරයා කියා සිටියි.

යුද ජයග්‍රහණය ප්‍රදර්ශනය කරනු ලැබීම බැලූ බැල්මට වරදක් නොවන නමුත් මෙය පාවිච්චි කරනු ලබන්නේ එක් ජනාධිපති ධුර අපේක්ෂකයකු ගේ දේශපාලන වාසිය සඳහා වීම සමාජය තුලින් මතු වෙන ප්‍රශ්නය වන බවයි ඔහු පෙන්වා දෙන්නේ.

මහජනතාව විවේකය ගත කිරීමට පැමිණෙන ස්ථානවල එවැනි ප්‍රචාරක කටයුතු සිදු කිරීම කොතරම් සුදුසුද? එසේම එවැනි ක්‍රියාවන්හි නීත්‍යනුකූලභාවය ආදී ගැටළු මතු වෙන බවත් පැෆරල් ආයතනය පවසයි.

එවැනි නීතියට පටහැණි ප්‍රචාරක කටයුතු මහජනතාවගේ නිදහස් ඡන්ද අයිතියට බාධාවක් වන බව සැලකිල්ලට ගත යුතු බවත් පැෆරල් මැතිවරණ නිරීක්ෂණ ආයතනයේ විධායක අධ්‍යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි පෙන්වා දෙයි.