ඔබේ දුරකථනයේ හෝ පරිගණකයේ මෙය වාදනය කිරීමට අදාළ මෘදුකාංග නැත

ජනාධිපතිවරණයෙන් පසු එජාපය තුන්වැනි තැනට - තිස්ස

ජනාධිපතිවරණයෙන් පසු එක්සත් ජාතික පක්ෂය තුන්වැනි තැනට පත්වන බව අමාත්‍ය තිස්ස අත්තනායක ප්‍රකාශ කරයි.

ඩලස් අලහප්පෙරුම , තිස්ස විතාරන , මහින්ද සමරසිංහ යන අමත්‍යවරුන්ගේද සහභාගිත්වයෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මුලස්ථානයේදී අද, බ්‍රහස්පතින්දා පැවති වසරේ පළමු මාධ්‍ය හමුවට එක්වෙමිනුයි තිස්ස අත්තනායක එසේ ප්‍රකාශ කළේ.

මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයාට සහය පල කිරීමට කැමැත්ත පල කළ එක්සත් ජාතික පක්ෂයේ ප්‍රාදේශීය දේශපාලකයන් පිරිසක්ද කැටුවයි තිස්ස අත්තනායක අමත්‍යවරයා මාධ්‍ය හමුවට පැමිණ සිටියේ.

තිස්ස අත්තනායක අමාත්‍යවරයාගේ නම මුලින්ම සහිත තිස් නවදෙනෙකුගෙන් සමන්විත ලැයිස්තුවක් ලබා දෙමින් තිස්ස අත්තනායක අමත්‍යවරයා කියා සිටියේ එක්සත් ජාතික පක්ෂයේ සිට තවත් පිරිස් ඉදිරි දින කීපය තුල පැමිණීමට නියමිත බවයි.

එක්සත් ජාතික පක්ෂයේ ඡන්ද ව්‍යාපාරය එක තැන පල් වෙන තත්වයකට ඇද වැටී ඇති බවයි අමාත්‍ය තිස්ස අත්තනායක ප්‍රකාශ කළේ.

ඉදිරියට යාම

ලෝකයේ සෑම රටකම ගැටළු ඇති බව පැවසූ අමාත්‍ය තිස්ස විතාරණ ඒවා ශ්‍රී ලංකාවට පමණක් සීමාවී නැති බවයි කියා සිටියේ.

දැන් අවශ්‍යව ඇත්තේ අඩු පාඩු සකස් කොට ගෙන ඉදිරියට යාම බව ඔහු සඳහන් කළේය.

ධනපති ක්‍රමය පවතින සෑම රටකම සමාජ තුල ප්‍රශ්න පවතින බවයි ඔහු ප්‍රකාශ කළේ.

ඇමරිකාව, බ්‍රිතාන්‍ය, චීනය සහ ඉන්දියාව යන රටවල් ගෙන හැර දක්වමින් කථා කළ ඔහු චීනය ධනපති සංවර්ධන ගමනක් යාම නිසා එවැනි ප්‍රශ්න වලට මුහුණ දෙන බව පැවසුවේය.

එම නිසා කොමියුනිස්ට් පක්ෂයේ නායකයන් කිහිප දෙනකු සිර ගත කොට ඇති බවයි ඔහු පෙන්වා දෙන්නේ

දුෂණ වංචා නඩු

ඉන්දියාවේ පාර්ලිමේන්තුවේ තුනෙන් එකක් මන්ත්‍රීවරුන්ට විරුධව අධිකරණයේ දුෂණ වංචා නඩු පවරා ඇති බව ඔහු සඳහන් කළේය.

මුස්ලිම් කොන්ග්‍රසය සහ දෙමළ ජාතික සන්ධානය පොදු අපේක්ෂකයාට සහය පල කිරීම සම්බන්ධයෙන් දරන මතය ජාතික හෙළ උරුමය සහ ජනතා විමුක්ති පෙරමුණ විසින් රටට හෙළි කල යුතු බව අමාත්‍ය ඩලස් අලහප්පෙරුම ප්‍රකාශ කළේය