ඔබේ දුරකථනයේ හෝ පරිගණකයේ මෙය වාදනය කිරීමට අදාළ මෘදුකාංග නැත

අචල ජාගොඩ මෛත්‍රී පිලට

පාර්ලිමේන්තු මන්ත්‍රී අචල ජාගොඩ විපක්ෂයේ පොදු අපේක්ෂක මෛත්‍රීපාල සිරිසේන මහතාට එක් විය.

අද (02) කොළඹ පැවැත්වුන මාධ්‍ය හමුවක දී අදහස් දැක්වූ මන්ත්‍රීවරයා කියා සිටියේ, ජනවාරි අටවෙනි දින පැවැත්වෙන ජනාධිපතිවරණයේ දී සිය සහයෝගය පොදු අපේක්ෂක මෛත්‍රීපාල සිරිසේනට ලැබෙන බවයි.

අචල ජාගොඩ ආණ්ඩු පක්ෂයෙන් විපක්ෂ සන්ධානයට එකතු වූ විසිහත් වෙනි පාර්ලිමේන්තු මන්ත්‍රීවරයායි.

කලින් ජනතා විමුක්ති පෙරමුණේ සාමාජිකයකු වූ අචල ජාගොඩ එම පක්ෂයෙන් ඉවත් වුණේ විමල් වීරවංශ ඇමතිවරයා සමඟයි.

විමල් වීරවංශ සමඟ

විමල් වීරවංශ ඇමතිවරයා ඔහුගේ ජාතික නිදහස් පෙරමුණ සංවිධානය කළ අවස්ථාවේ එහි ආරම්භක සාමාජිකයකු වූ අතර එම පක්ෂයේ තවත් ආරම්භක සාමාජිකයකු වූ නන්දන ගුණතිලක හිටපු ඇමතිවරයා ද පසුගිය දා පොදු අපේක්ෂක මෛත්‍රීපාල සිරිසේන ට එකතු විය.

අචල ජාගොඩ කලින් පැවති එක්සත් ජනතා නිදහස් සන්ධාන ආණ්ඩුවේ සංචාරක කටයුතු භාර නියෝජ්‍ය ඇමතිවරයා හැටියට ද කලක් කටයුතු කළේය.

අද විපක්ෂයට එක වෙමින් ප්‍රකාශයක් කළ පාර්ලිමේන්තු මන්ත්‍රී අචල ජාගොඩ යුද්ධයෙන් අනතුරුව රටේ සංවර්ධනය වෙනුවෙන් පියවර නොගත් ආණ්ඩුව බල ලෝභයෙන් ජනාධිපති නිල කාලය වැඩි කර ගැනීමට පමණක් ක්‍රියාත්මක වූ බවයි කියා සිටියේ.