ඔබේ දුරකථනයේ හෝ පරිගණකයේ මෙය වාදනය කිරීමට අදාළ මෘදුකාංග නැත

‘ජාතිවාදී ආයුධය එපා’ - සෝභිත හිමි

පොදු අපේක්ෂක මෛත්‍රීපාල සිරිසේනට සහයෝගය දීම පිණිස වෘත්තීය සමිති නියෝජිත සමුළුවක් කොළඹ මහජන පුස්තකාල ශ්‍රවනාගාරයේ අද (ජනවාරි 02)පැවැත්වුණි.

වත්මන් ආණ්ඩුව යටතේ වෘත්තීය අයිතිවාසිකම් කප්පාදු කිරීම පිළිබඳවයි එම සමුලුවේ වැඩි අවධානය යොමු වුනේ.

රනිල් වික්‍රමසිංහ විපක්ෂ නායකවරයාත් සහභාගී වූ එම සමුළුව අමතා කතා කළ සාධාරණ සමාජයක් සඳහා වන සංවිධානයේ කැඳවුම්කරු මාදුළුවාවේ සෝභිත හිමියන් කියා සිටියේ ‘රටේ විනාශයට හේතු වී ඇත්තේ විධායක ජනාධිපති ආණ්ඩුක්‍රමය’ වන බවයි.

‘අපේ ඉලක්කය මහින්ද රාජපක්ෂ මහත්මයා ජනාධිපති පුටුවෙන් ඉවත් කර මෛත්‍රීපාල සිරිසේන මහත්මයා ඒ පුටුවේ වැජඹවීම නොවෙයි. මේක අලුත් ගමනක්. එය විප්ලවයක්. මේ රටට විප්ලවීය වෙනසක් අවශ්‍යයි. අපි සාධාරණ සමාජයක් සඳහා කම්කරුවන්, ගොවීන් වෛද්‍යවරුන් සහ විශ්ව විද්‍යාල ශිෂ්‍යයන් ආදී හැම අංශයකට ම කතා කළා’ සෝභිත හිමියෝ ප්‍රකාශ කළහ.

තමන්ට එල්ල වී ඇති දේශපාලන අභියෝගය හමුවේ ආණ්ඩුව ජාතිවාදය වපුරමින් යළි බලය දිනා ගැනීමේ උත්සාහයක නිරත වෙමින් සිටින බව උන්වහන්සේ සඳහන් කළහ.

එය ශ්‍රී ලංකා සමාජයේ සිංහල දෙමළ මුස්ලිම් ජන කොටස් අතර යළි වෛරය අවුළුවා ලීමේ නරක ප්‍රතිවිපාක සහිත ක්‍රියාවක් වන බවයි මාදුළුවාවේ සෝභිත හිමියන් පෙන්වා දුන්නේ.

මෛත්‍රී - කම්කරු සන්ධානය

කම්කරු නියෝජිතයන් අමතා කතා කළ ජාතික හෙළ උරුමය ප්‍රධාන ලේකම් පාඨලී චම්පික රණවක හිටපු ඇමතිවරයා කියා සිටියේ, මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා රටේ ඒකීය භාවය පිළිබඳව අද කතා කළත් ඔහු චන්ද්‍රිකා කුමාරතුංග පාලන සමයේ 'ඒකීය භාවය' සම්බන්ධයෙන් එකම එක වචනයක්වත් කතා නොකළ බවයි.

වෘත්තීය සමිති සන්ධානය මෛත්‍රීපාල සිරිසේන ජනාධිපති ධූර අපේක්ෂකයා සමඟ එක් වුනේ ගිවිසුමක් ඇති කර ගැනීම මගින් වන බවයි සමුළුව අමතමින් වෘත්තීය සමිති නායක සමන් රත්නප්‍රිය සඳහන් කළේ.

මෛත්‍රීපාල සිරිසේන බලයට පත් කොට නිහඬව සිටීම නොව එම එකඟතා ක්‍රියාවට නැගීම සඳහා වෘත්තීය සමිති සන්ධානය ක්‍රියාත්මක වෙන බවයි සමන් රත්නප්‍රිය වැඩි දුරටත් කියා සිටියේ.