ඔබේ දුරකථනයේ හෝ පරිගණකයේ මෙය වාදනය කිරීමට අදාළ මෘදුකාංග නැත

‘දන්නා යක්ෂයාට ඡන්දය දෙන්න'-ජනාධිපති

‘නොදන්නා දෙවියන්ට නොව දන්නා යක්ෂයාට ඡන්දය දෙන්නැයි’ එක්සත් ජනතා නිදහස් සන්ධානයේ ජනාධිපති ධූර අපේක්ෂක මහින්ද රාජපක්ෂ උතුරේ ජනයාගෙන් ඉල්ලීමක් කළේය.

කලින් යුද කලාපයක් වූ උතුරු පළාතේ මැතිවරණ සංචාරයක නිරත වූ ජනාධිපති මහින්ද රාජපක්ෂ තමා විසින් ම ඔහු හඳුන්වා ගත්තේ ‘දන්නා යක්ෂයා’හැටියටයි.

Image copyright AFP

ඔහු එම ප්‍රකාශය කළේ යාපනයේ සංවිධානය කර තිබුණ මැතිවරණ රැළියක් අමතමිනි.

‘නොදන්නා දෙවියන්ට නොව දන්නා යක්ෂයාට ඡන්දය දෙන්නැයි’ ජනාධිපතිවරයා ඉල්ලා සිටියේ සිංහල භාෂාවෙනි.

තමා ‘දන්නා යක්ෂයා’ බවයි ඔහු පවසන්නේ.

මෙය තමා බලයට පත්වීමෙන් අනතුරුව සිදු කරන එකොළොස් වැනි යාපන සංචාරය බවත් ඔහු සිහිපත් කළේය.

Image copyright AP

‘අපි ඔබට විදුලි බලය දුන්නා. අළුත් පාසල් දුන්නා. ඔබට ජල පහසුකම් සම්පාදනය කිරීමටත් අපට අවශ්‍යයි’ ජනාධිපති මහින්ද රාජපක්ෂ කියා සිටියේය.

සිය ප්‍රධාන ප්‍රතිවාදී අපේක්ෂක මෛත්‍රීපාල සිරිසේන උතුරු පළාත සම්බන්ධයෙන් දැඩි උනන්දුවක් නොමැති බව පෙන්නුම් කර ඇතැයි ප්‍රකාශ කළ ජනාධිපතිවරයා, සිය ප්‍රතිවාදියා නිරන්තරයෙන් යාපනයට නොපැමිණි අයකු වන බවයි සඳහන් කළේ.

ජනාධිපති ධූර අපේක්ෂක මහින්ද රාජපක්ෂ ගේ මැතිවරණ චාරිකාව අද (02) යොමු වුනේ යාපනය ,වව්නියාව සහ මන්නාරම දිස්ත්‍රික්ක වලටයි.

මේ අතර, මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා හා වවුනියාවේදී වේදිකාවට එක්වූ දෙමළ ජාතික සන්ධානයේ මන්ත්‍රීවරුන් හතර දෙනකු ඇතුළු වවුනියාවේ ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරු 9 දෙනෙක් ජනාධිපතිවරයාට සහය දැක්වීමට එක් වුහ.

මෙසේ රජයට සහය දැක්වීමට එක්වුණේ දෙමළ ජාතික සන්ධානයේ මන්ත්‍රීවරුන් 4 දෙනෙක් , එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රීවරයෙක් , ශ්‍රී ලංකා මුස්ලිම් කොන්ග්‍රසයේ මන්ත්‍රීවරුන් දෙදෙනෙක් සහ සමස්ත ලංකා මුස්ලිම් කොන්ග්‍රසයේ මන්ත්‍රීවරුන් දෙදෙනෙක්.