මැතිවරණ නිරීක්ෂණ අරමුදල් ගැන පැහැදිලි කිරීමක්

Image copyright rajith keerthi thennakoon
Image caption රජිත් කීර්ති තෙන්නකෝන්

ශ්‍රී ලංකාවේ ඇතැම් මැතිවරණ නිරීක්ෂක සංවිධාන වලට පිටරටවලින් ලැබෙන මුදල් මෛත්‍රීපාල සිරිසේන පොදු අපේක්ෂකයා ගේ මැතිවරණ ප්‍රචාරක වැඩ වලට යොදවන බවට විමල් වීරවංශ ඇමතිවරයා එල්ල කරන දෝෂාරෝපණය සාවද්‍ය විවේචනයක් හැටියට 'කැෆේ'(Caffe) සංවිධානය ඇතුළු මැතිවරණ නිරීක්ෂක සංවිධාන විසින් බැහැර කරනු ලබයි.

සිකුරාදා (02)ජනාධිපතිවරණ ප්‍රචාරක රැළියක් අමතමින් විමල් වීරවංශ ඇමතිවරයා කියා තිබුණේ, ලංකාවේ මැතිවරණ නිරීක්ෂක සංවිධාන වලට ඩොලර් මිලියන දහසයක් තරම් මුදලක් ලැබෙන අතර ඉන් කොටසක් විපක්ෂයේ පොදු අපේක්ෂකයා ගේ ජනාධිපතිවරණ ප්‍රචාරක කටයුතු වලට ‘පොම්ප කෙරෙන’ බවයි.

ඇමතිවරයා එම චෝදනාව කළේ එක්සත් ජනතා නිදහස් සන්ධානයේ අපේක්ෂක මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයාත් සහභාගී වූ කන්තලේ ප්‍රචාරක රැළියක දී.

‘නිරීක්ෂක සංවිධාන වලට ලැබෙන ඩොලර් මිලියන දාසය ගත්තම එක ඡන්දදායකයා ගානේ නිරීක්ෂණය කළත් ඒවගේ මුදලක් වියදම් වෙන්නේ නැහැ. මේ මහා මුදල 'කැෆේ' සංවිධානයට දුන්නේ ටිකක් නිරීක්ෂණයට. ටිකක් ඡන්ද වැඩ වලට. මෙන්න සල්ලි පොම්ප කරන විධිය. පිටරටවල කුමන්ත්‍රණකාරී බලවේග වල වැඩයි මේ’ විමල් වීරවංශ ඇමතිවරයා පැවසීය.

බීබීසී සංදේශය විමල් වීරවංශ ඇමතිවරයාගේ ප්‍රකාශය සම්බන්ධයෙන් 'කැෆේ' මැතිවරණ නිරීක්ෂක ආයතනයේ විධායක අධ්‍යක්ෂ රජිත් කීර්ති තෙන්නකෝන්ගෙන් විමසීමක් කළ විට ඔහු කියා සිටියේ, ශ්‍රී ලංකාවේ මැතිවරණ නිරීක්ෂක සංවිධාන පිළිබඳව පවතින මහජන විශ්වාසය බිඳ දැමීම විමල් වීරවංශ ඇමතිවරයාගේ අරමුණ වී ඇති බවයි.

පදනමක් නැති චෝදනා

‘විමල් වීරවංශ ඇමතිවරයා පවසන ආකාරයට ඩොලර් මිලියන දාසයක් තරම් මුදලක් මැතිවරණ නිරීක්ෂණ ආයතන වලට නොවෙයි, ලංකාවේ ආණ්ඩුවේ අමාත්‍යංශ දාහතක් හෝ දහඅටකට වත් ලැබෙන්නේ නැහැ. ලංකාවේ රාජ්‍ය නොවන සංවිධාන සියල්ලට ලැබෙන විදේශ මුදල් සියල්ල එකතු කළත් ඇමතිවරයා කියන තරම් මුදල් කන්දරාවක් ලැබෙන්නේ නැහැ’ කැෆේ ආයතනය පවසයි.

Image copyright NFF
Image caption ඇමති විමල් වීරවංශ

විපක්ෂයේ පොදු අපේක්ෂක මෛත්‍රීපාල සිරිසේනගේ මැතිවරණ අරමුදලට මැතිවරණ නිරීක්ෂක සංවිධාන වලින් මුදල් පොම්ප කරන බවට විමල් වීරවංශ ඇමතිවරයා කරන චෝදනාව ගැන විමසූ විට ‘කැෆේ’ මැතිවරණ නිරීක්ෂක ආයතනයේ විධායක අධ්‍යක්ෂ රජිත් කීර්ති තෙන්නකෝන් කියා සිටියේ,මැතිවරණ නිරීක්ෂන කටයුතු වලට ලැබෙන මුදල් ප්‍රමාණය සිය සංවිධානයේ මූලික මෙහෙයුම් කටයුතු වලටවත් ප්‍රමාණවත් නොවන බවයි.

එවැනි තත්වයක් පවතිද්දී විමල් වීරවංශ ඇමතිවරයා කරන චෝදනාවට කිසිදු පදනමක් නොමැති බවත් ‘කැෆේ’ සංවිධානය කියා සිටියි.

මැතිවරණ නිරීක්ෂණයේ දී සිය ආයතනය කටයුතු කරන්නේ ස්වේච්ඡා ක්‍රියාධරයන් රාශියකගේ ද සහභාගිත්වයෙන් බවයි ඔවුන් වැඩිදුරටත් පවසන්නේ.

කෙසේ වුවද,මැතිවරණ නීති උල්ලංඝනය කරන දේශපාලකයන් ඇතුළුව සියලුම පුද්ගලයන් හෙළිදරව් කිරීමට තමන්ට හැකි වූ බවත් ‘කැෆේ’ මැතිවරණ නිරීක්ෂක ආයතනයේ විධායක අධ්‍යක්ෂවරයා කියා සිටියි.

මේ පුවතට සම්බන්ධ තවත් විස්තර