පොලිසිය පක්‍ෂග්‍රාහී බවට පැමිණිලි -විදෙස් නිරීක්‍ෂකයෝ

Image caption විදෙස් නිරීක්‍ෂකයෝ මැතිවරණ කොමසාරිස් සමඟ

රාජ්‍ය දේපළ මැතිවරණය සඳහා යොදා ගැනීම, පොලිසිය අපක්ෂපාතී ලෙස කටයුතු නොකිරීම සහ රාජ්‍ය හා පුද්ගලික මාධ්‍ය පාලනයකට ලක් කරන බවට පැමිණිලි තමන්ට ලැබී ඇති බව ආසියානු මැතිවරණ නිරීක්ෂකයන්ගේ කණ්ඩායම පවසයි.

ආසියානු මැතිවරණ නිරීක්ෂකයන්ගේ කණ්ඩායමේ ප්‍රධානි එස් කුරේෂි මේ බව කියා සිටියේ ශ්‍රී ලංකාවට පැමිණ සිටින විදේශ මැතිවරණ නිරීක්‍ෂකයන් තම ඉදිරි වැඩ පිළිවෙළ පිළිබඳව මාධ්‍ය දැනුවත් කිරීමට කැඳවූ මාධ්‍ය හමුවේදී යි.

මැතිවරණ කොමසාරිස්

ජනාධිපතිවරණය නිදහස්ව හා සාධාරණව පවත්වා අවසන් කිරීමට හැකි වනු ඇති බවට ශ්‍රී ලංකාවේ මැතිවරණ කොමසාරිස්වරයා තුළ පූර්ණ විශ්වාසයක් ඇති බව ඔහු සමග පැවැත්වූ සාකච්ඡාවේදී තමන්ට ඒත්තු ගිය බවද ඔහු කියා සිටියේය.

ඉන්දියාවේ මැතිවරණ කොමසාරිස්වරයා ලෙසද කටයුතු කර ඇති ආසියානු මැතිවරණ නිරීක්ෂකයන්ගේ කණ්ඩායමේ ප්‍රධානි එස් කුරේෂි, හෙට දිනයේ සිට දිවයිනේ සියලු දිස්ත්‍රික්කයන් ආවරණය වන පරිදි නිරීක්ෂණ කටයුතු වල යෙදීමට තම නිරීක්ෂකයන් සුදානම් බව පැවසුවේය.

හමුදාව යොදා ගෙන උතුරේ ඡන්දයට බලපෑම් කළ හැකි බවටද පාර්ශව කිහිපයක් තම අවධානයට යොමු කර ඇති බව පැවසූ ආසියානු මැතිවරණ නිරීක්ෂකයන්ගේ කණ්ඩායමේ ප්‍රධානියා හෙට දිනයේ උතුරේ සංචාරය කොට මෙහි සත්‍ය තත්වය දැන ගැනීමට තමන් බලාපොරොත්තු වන බව පැවසීය.

කෙසේ වෙතත් මැතිවරණ නිරීක්ෂකයන් ලෙස තමන්ට කළ හැක්කේ සිදු වන සිද්ධීන් වාර්තා කිරීම පමණක් බව ඔහු තවදුරටත් කියා සිටියේය.

මේ පුවතට සම්බන්ධ තවත් විස්තර