මෛත්‍රීට ගල් ගැසූ සැකකරුවන් රක්ෂිත බන්ධනාගාරට

Image copyright Maithripala Sirisena

විපක්ෂයේ පොදු අපේක්ෂක මෛත්‍රීපාල සිරිසේන සහභාගි වූ පැල්මඩුල්ලේ මහජන රැළියට ගල් ප්‍රහාර එල්ල කිරීමේ චෝදනා මත පොලිස් අත්අඩංගුවේ පසු වන සැකකරුවන් දෙදෙනෙක් ජනවාරි දොළොස් වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස පැල්මඩුල්ල වැඩබලන මහේස්ත්‍රාත් හවුපෙ එම් ජයසිරි නියෝග කරයි.

මෙසේ රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණේ පැල්මඩුල්ල, රිල්හේන ප්‍රදේශයේ පදිංචි හතළිස් එක් වන වියේ සහ තිස්තුන් වන වියේ පසු වූදෙදෙනෙකුයි.

විපක්ෂයේ පොදු අපේක්ෂක මෛත්‍රීපාල සිරිසේන ජනවාරි දෙවනදා රාත්‍රි අටට පමණ පැල්මඩුල්ල නගරයේ බස් නැවතුම් පොළ අසල පැවති මහජන රැළියක් අමතමින් සිටියදී මෙම ගල් ප්‍රහාරය එල්ල විය.

එහිදී ගල් ප්‍රහාරයට ලක් වූ හැටපස් හැවිරිදි විශ්‍රාමික විදුහල්පතිවරයෙකු තවමත් පැල්මඩුල්ල ග්‍රාමීය රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබයි.

ප්‍රහාරයට සම්බන්ධ තවත් සැකකරුවන් කිහිප දෙනෙකු අත්අඩංගුවට ගැනීමට පරීක්ෂණ පවත්වන බව කහවත්ත පොලිස් ස්ථානාධිපති පොලිස් පරීක්ෂක ලලිත් රාජමන්ත්‍රී වැඩබලන මහේස්ත්‍රාත්වරයා හමුවේ දන්වා සිටියේය.

ප්‍රහාරය සිදු වූ අවස්ථාවේ තම කැමරා උපකරණවලට හානි සිදු වූ බවට ප්‍රාදේශීය රූපවාහිනී නාලිකා වාර්තාකරුවකු පොලීසියට පැමිණිලි කර තිබේ.

මේ පුවතට සම්බන්ධ තවත් විස්තර