පාර්ලිමේන්තුව විසුරුවා හරින්නේ නැහැ -තිස්ස විතාරණ

Image caption ‘පැහැදිලිවම මහින්ද රාජපක්‍ෂ තමයි ජනාධිපති වෙන්න යන්නේ'

පාර්ලිමේන්තුව විසුරුවා හරින බවට පවතින රාවයේ කිසිදු පදනමක් නැති බවත් පවතින පාර්ලිමේන්තුව හරහා ම ව්‍යවස්ථා සංශෝධනයක් ගෙන ඒමට ජනාධිපතිවරයා කටයුතු කරනු ඇති බවත් අමාත්‍ය තිස්ස විතාරණ පවසයි.

ඔහු මේ බව කියා සිටියේ ජනාධිපතිවරයාට සහයෝගය දක්වන දේශපාලන පක්ෂවල නායකයන්ගේ සහභාගිත්වයෙන් අද කොළඹ පදනම් ආයතනයේ පැවති මාධ්‍ය හමුවකදී යි.

‘පැහැදිලිවම මහින්ද රාජපක්‍ෂ තමයි ජනාධිපති වෙන්න යන්නේ. එතැනින් එහා පාර්ලිමේන්තුව විසුරුවන්න හේතුවක් නැහැ. තියෙන පාර්ලිමේන්තුවෙන් ම ජනාධිපතිතුමා පැහැදිලිව ම සඳහන් කරලා තියෙනවා ව්‍යවස්ථා වෙනස්කම් ඇති කිරීමට ව්‍යවස්ථාදායක මණ්ඩලයක් පිහිටුවනවා කියලා. අවුරුද්දක් ඇතුළත අලුත් ව්‍යවස්ථාවක් සම්මත කර ගන්න බලාපොරොත්තු වෙන නිසා විසුරුවා හැරීමට කිසිම හේතුවක් නැහැ.’ අමාත්‍ය තිස්ස විතාරණ පැවසීය.

රාජ්‍ය දූෂණය

රාජ්‍ය දූෂණය සහ ඥාති සංග්‍රහය අද විපක්ෂයේ ප්‍රධානතම චෝදනාව බවට පත් වී ඇති බව පවසන අමාත්‍ය තිස්ස විතාරණ ඊට පිළිතුරු වශයෙන් එක්සත් ජාතික පක්ෂයේ පාලන සමය තුළ සිදු වූ දූෂණ සහ අක්‍රමිකතා පිළිබඳව කරුණු ගොනු කළේය.

‘1977 – 94 යුගය බැලුවම මොන වගේ නාස්තියක් තිබුනද? කොයි තරම් දූෂණ වංචා තිබුනද? 77 මැතිවරණයෙන් පස්සේ පොලිසියට සතියක නිවාඩුවක් දීල පැරදුන පක්ෂවල ප්‍රධානීන්ගේ, හිතවතුන්ගේ නිවාස පිච්චුවා.’ ඇමතිවරයා ප්‍රකාශ කළේය.

මාධ්‍ය නිදහස

මාධ්‍ය නිදහසේ ඉතිහාසය සිහිපත් කරමින් තවදුරටත් කතා කළ තිස්ස විතාරණ අමාත්‍යවරයා පොදු අපේක්ෂකයා ලබා දෙන මාධ්‍ය නිදහස අභියෝගයට ලක් කළේය.

‘තමුන්නාන්සේලා ගේ සුබ සිද්ධිය ගැන අද කතා කරනවා. එදා මාධ්‍යවේදියෙක් වචනයක් වත් විරුද්ධව කිව්වනම් පහර දුන්නා. රිචඩ් ද සොයිසා වැනි ශ්‍රේෂ්ඨ මාධ්‍යවේදීන් අමු අමුවේ ඝාතනය කළා. එදිරිවීර සරත්චන්ද්‍ර වගේ කලාකරුවන්ට පහර දුන්නා. මේවා තමයි එදා ධර්මිෂ්ඨ සමාජයක් පිහිටුවනවා කියල එක්සත් ජාතික පක්ෂය කළේ. අද මෛත්‍රී පාලනයක් ඇති කර යහපාලනයක් ඇති කරනවා කියල කියනවා. මෛත්‍රීපාල සිරිසේන පත් වුනොත් ඊළඟ දවසේ රනිල් අගමැති වෙනවා.’ තිස්ස විතාරණ ඇමතිවරයා තවදුරටත් කියා සිටියේය.

මේ පුවතට සම්බන්ධ තවත් විස්තර