ජනපති ජන හමුවට එරෙහිව අධිකරණ නියෝගයක්

ජාතික රූපවාහිනිය, ස්වාධීන රූපවාහිනිය, ස්වර්ණවාහිනිය හා දෙරණ රූපවාහිනිය යන නාලිකා හතරක විකාශනය වීමට නියමිතව තිබූ ජනපති ජන හමුව නමැති දේශපාලන වැඩසටහන ජනාධිපතිවරණ දිනය වන ජනවාරි 8 වැනිදා දක්වා නොපවත්වන්නැයි එම රූපවාහිනී නාලිකා වලට කඩුවෙල දිස්ත්‍රික් අධිකරණය විසින් නියෝග කර තිබේ.

පොදු අපේක්ෂක මෛත්‍රිපාල සිරිසේන වෙනුවෙන් පෙනී සිටි නීතීඥයන් පිරිසක ගේ ඉල්ලීමක් අනුවයි අධිකරණය මෙම වැඩ සහටන හෝ ඒ හා සමාන වැඩසටහනක් විකාශය කිරීමෙන් වළකින ලෙස මෙම රූපවාහිනී ආයතනවලට නියෝග කර තිබෙන්නේ.

ජනාධිපතිවරණය අවසන් වන තෙක් ජනාධිපති මහින්ද රාජපක්ෂ සහභාගි වන කිසිදු දේශපාලන වැඩසටහනක් ප්‍රචාරය නොකළ යුතු බව අධිකරණ නියෝගයේ සදහන් බවයි ඒ පිළිබඳව මාධ්‍යයට අදහස් දක්වමින් එක්සත් ජාතික පක්ෂයේ නීතීඥයකු වන සදුන් ගමගේ පැවසුවේ.

ජනාධිපති මහින්ද රාජපක්ෂගේ මැතිවරණ ප්‍රචාරණ කටයුතු ප්‍රවර්ධනය නොකරන ලෙසද මෙම වාරණ නියෝගයේ සඳහන් බවයි ඔහු පැවසුවේ.

අදාළ වාරණ නියෝග පිළිබඳව මෙම ආයතන දැනටමත් දැනුවත් කර ඇති බව පැවසූ නීතීඥ සඳුන් ගමගේ එම වාරණ නියෝගය පසෙක ලා ඔවුන් මෙවන් වැඩසටහන් විකාශය කළහොත් එම ආයතනවල සභාපතිවරුන්ගේ සිට අදාළ වැඩසටහන පෙළ ගස්වන්නා තෙක් අධිකරණයට අපහාස කල සාපරාධී වරදට දඬුවම් ලැබීමට සිදු වන බවයි පැවසුවේ.