'මැතිවරණ කොමසාරිස් මාධ්‍යයට අනතුරු අඟවයි'

Image caption මැතිවරණ කොමසාරිස් මහින්ද දේශප්‍රිය

පක්‍ෂග්‍රාහී ලෙස වැඩසටහන් ප්‍රචාරය කිරීම නතර නොකරන්නේ නම් නිල මැතිවරණ ප්‍රතිඵල නිකුත් කිරීමේ කටයුතු වලින් ඉවත් කරන බව දන්වා රජයේ මාධ්‍ය ආයතන කිහිපයකට මැතිවරණ කොමසාරිස්වරයා ලිපියක් යවයි.

ජාතික රූපවාහිනී සංස්ථාව, ස්වාධීන රූපවාහිනි සේවය සහ ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවට මැතිවරණ කොමසාරිස්වරයා විසින් මෙම අනතුරු ඇඟවීම කරනු ලැබ ඇති බවයි කැෆේ සංවිධානයේ අධ්‍යක්‍ෂ රජිත් කීර්ති තෙන්නකෝන් කියා සිටියේ.

Image copyright rajith keerthi thennakoon
Image caption කැෆේ සංවිධානයේ අධ්‍යක්‍ෂ රජිත් කීර්ති තෙන්නකෝන්

‘මැතිවරණ ප්‍රචාරණ කටයුතු ඊයේ අවසන් වීමෙන් පසුවත් මැතිවරණ නීති උල්ලංඝනය කරමින් ප්‍රචාරක කටයුතු කරන බවට චෝදනා ගණනාවක් ජාතික රූපවාහිනියට, ස්වාධීන රූපවාහිනී සේවයට සහ ගුවන් විදුලි සංස්ථාවට එල්ල වෙලා තිබුණා. මේ පිළිබඳව මැතිවරණ කොමසාරිස්වරයා තමන්ගේ දැඩි අවධානය යොමු කරලා එම ආයතනවලට ලිපියක් යවා තිබෙනවා.’

‘ඒ ලිපියෙන් කියවෙන්නේ මේ පක්‍ෂග්‍රාහී ක්‍රියාකාරකම් වැළක්වීමට ක්‍රියා නොකරන්නේ නම් මැතිවරණයේ නිල ප්‍රතිඵල නිකුත් කිරීමේ කටයුතු වලින් මෙම ආයතන ඉවත් කිරීමට කටයුතු කරනවා කියලා.’ කැෆේ සංවිධානයේ අධ්‍යක්‍ෂ රජිත් කීර්ති තෙන්නකෝන් පැවසීය.

ඔහු සඳහන් කළ මෙම ලිපිය පිළිබඳ පුවත සනාථ කර ගැනීම සඳහා ඉහත කී රජයේ මාධ්‍ය ආයතනවල සභාපතිවරුන් සහ මැතිවරණ කොමසාරිස්වරයා ඇමතීමට අප ගත් උත්සාහය සාර්ථක වූයේ නැත.

නමුත් මැතිවරණ කොමසාරිස් කාර්යාලයේ ආරංචි මාර්ග සඳහන් කළේ මාධ්‍ය ආයතන කිහිපයකට මැතිවරණ කොමසාරිස්වරයා ලිපියක් යවා ඇති නමුත් එහි අන්තර්ගතය නොදන්නා බවයි.

මේ පුවතට සම්බන්ධ තවත් විස්තර