'රාජකාරියට බාධා කළොත් ඊට එරෙහිව බලය පාවිච්චි කරනවා'

මැතිවරණ කටයුතු වල යෙදෙන පොලිස් නිලධාරීන්ගේ රාජකාරියට බාධා කළහොත් එම පුද්ගලයන්ට එරෙහිව අවශ්‍ය ප්‍රමාණයට බලය පාවිච්චි කරන ලෙස සියලුම පොලිස් ස්ථාන වෙත දැනුම් දී තිබෙන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී අජිත් රෝහණ පවසයි.

නිදහස් සහ සාධාරණ මැතිවරණයක් පැවැත්වීම සඳහා පොලිසිය දැඩි කැපවීමෙන් සහ වගකීමෙන් යුතුව ක්‍රියා කරන බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා කියා සිටියේ.

මැතිවරණ ප්‍රචණ්ඩ ක්‍රියාවල යෙදුණු බවට චෝදනා ලැබූ ආණ්ඩු පක්ෂයේ සහ විපක්ෂයේ දේශපාලනඥයන් විසි දෙනෙකු පමණ සිටින බවත් ඉන් දාහතර දෙනකු අධිකරණ නියෝග මත අත්අඩංගුවට ගෙන ඇති බවත් ඔහු සඳහන් කළේ කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින්.

මේ දක්වා පොලිසිය වෙත ලැබී ඇති තුන්සිය පනහකට ආසන්න මැතිවරණ ප්‍රචණ්ඩ ක්‍රියා පැමිණිලිවලට අදාළ එක සිය පනහකට ආසන්න සැකකරුවන් සංඛ්‍යාවක් අත්අඩංගුවට ගෙන ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා කියා සිටියේ.

මැතිවරණ නීති උල්ලංඝනය වන සේ පිහිටුවා ඇති පක්ෂ ප්‍රචාරක කාර්යාල , පෝස්ටර් , කටවුට් ඇතුළු ප්‍රචාරක සැරසිලි ඉවත් කිරීම සඳහා පොලිසිය කටයුතු කරමින් සිටින බවත් ඔහු සඳහන් කළේය.

සැක කටයුතු රථවාහන සහ පුද්ගලයන් සෝදිසි කිරීම සඳහා දිවයින පුරා හාරසීය විස්සකට ආසන්න පොලිස් මාර්ග බාධක යෙදවීමට කටයුතු කර ඇති බවත් පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී අජිත් රෝහණ වැඩිදුරටත් පැවසීය .