ඔබේ දුරකථනයේ හෝ පරිගණකයේ මෙය වාදනය කිරීමට අදාළ මෘදුකාංග නැත

නැවත යුද්ධයක් ඇති වීමට ඉඩ දෙන්නේ නැහැ - මෛත්‍රී

තමා ඇතුළු තමාට සහාය පළ කිරීම සඳහා එක් වී සිටින දේශපාලන නායකයන් සහ සියලුම ජනතා බලවේග ශ්‍රී ලංකාව තුළ නැවත යුද්ධයක් ඇති වීමට ඉඩ නොදෙන බව විපක්ෂයේ පොදු අපේක්ෂක මෛත්‍රිපාල සිරිසේන පවසයි.

‘එතුමා දන්නවා එතුමා ස්ථීරවම පරාජය වෙනවා කියලා. මහින්ද රාජපක්ෂ මහත්තයා බලයෙන් ඉවත් කළොත් මේ රට කඩා වැටෙනවා කියනවා. උතුරේ හමුදා ඉවත් කරනවා කියනවා. රටේ ඒකීයභාවය බිඳෙනවා රට බෙදෙනවා කියනවා’ යනුවෙන් ජනාධිපති මහින්ද රාජපක්ෂ නගන චෝදනා විපක්ෂයේ පොදු අපේක්ෂක මෛත්‍රිපාල සිරිසේන ප්‍රතික්ෂේප කළේය.

තමා සමග ජනපති සටනට එක් වී සිටින සියලු ජනතා බලවේග ශ්‍රී ලංකාව තුළ නැවතත් යුද්ධයක් ඇති වීමට ඉඩ නොදෙන බව විපක්ෂයේ පොදු අපේක්ෂක මෛත්‍රිපාල සිරිසේන කියා සිටියේ ජනාධිපතිවරණයට පෙර මැද කොළඹ පැවති අවසන් ප්‍රචාරක රැළිය අමතමින්.

‘අපි බොහොම පැහැදිලිව කියනවා. මම තනි පුද්ගලයෙක් විදිහට නෙවෙයි මේ සටනේ ඉන්නේ. එක්සත් ජාතික පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහ මැතිතුමා ඉතාම අවංක නායකයෙක්. එතුමා හොරෙක් නොවෙයි. දූෂිතයෙක් නොවෙයි. චන්ද්‍රිකා බණ්ඩාරනායක මැතිනිය එල්ටීටීඊ ප්‍රහාර නිසා ආබාධිත වුනා. එතුමිය කිසි දවසක මේ රටේ එල්ටීටීඊයට නැවතත් හිස ඔසවන්න දෙන්නේ නැහැ’ යනුවෙන් විපක්ෂයේ පොදු අපේක්ෂක මෛත්‍රිපාල සිරිසේන පැවසීය.

හිටපු හමුදාපති ජනරාල් සරත් ෆොන්සේකා, ජාතික හෙළ උරුමයේ අතුරළියේ රතන හිමි සහ පාර්ලිමේන්තු මන්ත්‍රී චම්පික රණවක, මාදුළුවාවේ සෝභිත හිමි, දඹර අමිල හිමි, ඇතුළු පොදු විපක්ෂයට එක් වී සිටින සියලුම සහෝදර බලවේග රටේ ඒකීයභාවය වෙනුවෙන් පෙනී සිටින බවත් විපක්ෂයේ පොදු අපේක්ෂක මෛත්‍රිපාල සිරිසේන කියා සිටියේය.

ලබන අට වනදාට මහින්ද රාජපක්ෂ දස අවුරුදු පාලනය අවසන් කිරීමෙන් පසු තම ආණ්ඩුවක් යටතේ රටේ මහජනතාවට අවශ්‍ය වී ඇති ‘අලුත් වෙනස’ ඇති කරන බවයි විපක්ෂයේ පොදු අපේක්ෂක මෛත්‍රිපාල සිරිසේන වැඩිදුරටත් පැවසුවේ.