පාප් වහන්සේගේ ශ්‍රී ලංකා සංචාරය ස්ථිරයි

ලබන 13 වන දා ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිත ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප් වහන්සේගේ ශ්‍රී ලංකා සංචාරය සාර්ථකව නිම කර ගැනිම සඳහා ජනාධිපතිවරණයෙන් අනතුරුව රට තුළ සාමකාමී වාතාවරණයක් තිබිය යුතු බවට ප්‍රාර්ථනා කරන ලෙස කතෝලික සභාව විශේෂයෙන් කතෝලික ජනතාවගෙන් ඉල්ලා සිටියි.

පාප් වහන්සේගේ ශ්‍රී ලංකා සංචාරයේ සුදානම පිළිබඳව කොළඹ පැවති විශේෂ මාධ්‍ය හමුවකට එක්වෙමිනුයි කතෝලික සභාවේ සන්නිවේදන අධ්‍යක්ෂ සිරිල් ගාමිණී පියතුමන් එම අදහස් පළ කළේ.

ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප් වහන්සේගේ ශ්‍රී ලංකා සංචාරය ස්ථිර වශයෙන්ම සිදු වන බව කතෝලික සභාව අද නිවේදනය කළේය.

සැක සංකා

ජනාධිපතිවරණය හේතුවෙන් පාප් වහන්සේගේ ශ්‍රී ලංකා සංචාරය පිළිබඳව සැක සංකා පළ කරමින් ඇතැම් මාධ්‍ය ආයතන පළ කල පුවත්වල කිසිදු සත්‍යතාවක් නොමැති බවයි කතෝලික සභාවේ සන්නිවේදන අධ්‍යක්ෂ සිරිල් ගාමිණී පියතුමන් ප්‍රකාශ කළේ.

" සංචාරය කල් දමන්න හෝ අවලංගු කරන්න කිසීම විදිහක සැලසුමක් හෝ සිතුවිල්ලක් අපිට නැහැ, ඒ නිසා මේ ගමන අනිවාර්යයෙන්ම සිදුවෙනවා"

ජනාධිපතිවරණයට ඉදිරිපත් වන ප්‍රධාන අපේක්ෂකයන් දෙදෙනාම ජනාධිපතිවරණයෙන් අනතුරුව රට තුළ සාමකාමී වාතාවරණයක් ඇති කරන බවට පොරොන්දුවී ඇති බවද සිරිල් ගාමිණී පියතුමා ප්‍රකාශ කළහ.

සාමකාමී වාතාවරණයක්

පාප් වහන්සේගේ ශ්‍රී ලංකා සංචාරය සාර්ථකව නිම කර ගැනිම සඳහා ජනාධිපතිවරණයෙන් අනතුරුව රට තුළ සාමකාමී වාතාවරණයක් තිබීම වැදගත් බවද සිරිල් ගාමිණී පියතුමා පැවසුහ.

"දෙවියන් වහන්සේගේ උදව් අපිට ලැබෙයි මේ පරිසරය සාමකාමිව තියාගන්න, හැමදෙනාගෙන්ම ඉල්ලා සිටින්නේ විශේෂයෙන්ම කතෝලික ජනතාවගෙන් යාඥා කරන්න සාමකාමී වාතාවරණයක් ඇති වෙන්න කියලා"

සමකාමී වාතාවරණයක් තුළ ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප් වහන්සේ පිළිගැනීමට හැකි වන වටපිටාවක් නිර්මාණය කරන ලෙසද සියළු ශ්‍රී ලාංකිකයන්ගෙන් සිරිල් ගාමිණී පියතුමා ඉල්ලා සිටියහ.

මෙහිදී අදහස් දැක්වූ කතෝලික සභාවේ ජේ.ඩි ඇන්තනි පියතුමා ප්‍රකාශ කලේ පාප් වහන්සේගේ සංචාරයේ සියළු සංවිධාන කටයුතු ඉතා සාර්ථකව සිදු වන බවයි.

ලබන 13 වන දා පෙරවරු 9 ට ශ්‍රී ලංකාවට පැමිණෙන ශුද්ධෝත්තම ෆ‍්‍රැන්සිස් පාප් වහන්සේ පිළිගැනීමේ උත්සවයෙන් අනතුරුව අග රදගුරු මැදුරේදී පාප් වහන්සේ රදගුරුතුමන්ලා ඇමතීමට නියමිතයි.

පාප් වහන්සේගේ ශ‍්‍රී ලංකා සංචාරයේ ප‍්‍රධාන දේව මෙහෙය ජනවාරි 14 වන දා උදෑසන 8.30ට ගාලූමුවදොර පිටියේදී පැවැත්වෙන අතර එදින පස්වරුවේ පාප් වහන්සේ මඩු දේවස්ථානයට යාමට නියමිතයි.

මේ පුවතට සම්බන්ධ තවත් විස්තර