ඔබේ දුරකථනයේ හෝ පරිගණකයේ මෙය වාදනය කිරීමට අදාළ මෘදුකාංග නැත

ගාල්ල: 'වාමාංශික බල කඳවුරේ' වෙනසක්?

ගාල්ල, මාතර, හම්බන්තොට දිස්ත්‍රික්කවලින් සැදුම්ලත් දකුණු පළාත කලක් මුළුල්ලේම සැලකුනේ වාමාංශික බල කඳවුරක් හැටියට.

දකුණ, ජනාධිපති මහින්ද රාජපක්ෂ ගේ ද බල කඳවුරයි.

'වමේ කඳවුරට' නායකත්වය දුන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට දකුණු පළාතේ ප්‍රබල ජනතා සහයෝගයක් හිමිවීම සාම්ප්‍රදායිකව දක්නට ලැබුණු ප්‍රවණතාවයක්.

මෙවර ජනාධිපතිවරණයේදී ඒ සාම්ප්‍රදායික ප්‍රවණතාවය එලෙසින්ම පවතින්නේද යන්න විමසා බැලීමේ අරමුණින් පසුගියදා ගාල්ලේ සංචාරයක යෙදුන බීබීසී සංදේශයේ සරෝජ් පතිරණ ඉදිරිපත් කරන වාර්තාවක් මේ.

ගාල්ලේ වෙසෙන අධිනීතිඥ මාපලගම විමලරතන, ප්‍රසිද්ධ කවියෙක් මෙන්ම තාරකා විද්‍යා විද්‍යාඥයෙක්.

එල්ටීටීඊ නායකයා මියයන දිනය, රනිල් වික්‍රමසිංහ අගමැති පදවියට පත්වන දිනය වැනි බොහෝ කරුණු පිළිබඳව තමන් පළ කළ අනාවැකි සනාථ වූ බව පවසන මාපලගම විමලරතන අධිනීතිඥවරයාට අනුව ජනාධිපති මහින්ද රාජපක්ෂගේ ජයග්‍රහණය නියතයි.

"විශාල ප්‍රතිශතයකින් ගාළු පළාත එතුමා ජය ගන්නවා," යනුවෙන් සඳහන් කරන ඔහු ජනාධිපතිවරයා වෙනුවෙන් සෙත් කවියක්ද ගායනා කළේය.

එහෙත් ගාල්ල දිසා අධිකරණයේ නීතිඥ ජෝතිරත්න කදිරහෙට්ටිආරච්චි එය තරයේ ප්‍රතික්ෂේප කරයි. ගාල්ල දිස්ත්‍රික්කයේ ප්‍රජාතන්ත්‍රවාදය සඳහා වූ නීතිඥවරුන්ගේ සංගමයේ කැඳවුම්කරු ද ඔහුයි.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් බෙදී වෙන්වුණු කොටස්, එක්සත් ජාතික පක්ෂය, සුළු ජාතිකයන් ඇතුළු දේශපාලන පක්ෂ සහ සංවිධාන විශාල ප්‍රමාණයක් මෙවර පොදු අපේක්ෂකයාට සහාය දක්වන බැවින් මෛත්‍රීපාල සිරිසේන පොදු අපේක්ෂකයාගේ ජයග්‍රහණය ස්ථිර බවයි, නීතිඥ ජෝතිරත්න කදිරහෙට්ටිආරච්චි සංදේශයට කියා සිටියේ.