'ඡන්ද පෙට්ටි මාරු කළ කථා බොරු'

Image copyright AFP

ඡන්ද පෙට්ටි ප්‍රවාහනයේ දී ඒවා මාරු කර ඇති බවට පළ වන වාර්තා අසත්‍ය බව මැතිවරණ කොමසාරිස් මහින්ද දේශප්‍රිය පවසයි.

අවසන් ඡන්ද ප්‍රතිඵලයට බලපෑමක් විය හැකි සිදුවීම් කිසිවක් අද පැවති ඡන්ද විමසීම තුළ වාර්තා වී නොමැති බවයි ඔහු පවසන්නේ.

ඡන්ද ගණන් කිරීම මේ වන විට ආරම්භ වී ඇති බවයි මැතිවරණ කාර්යාලයේ දී මාධ්‍ය හමුවකට එක් වෙමින් ඔහු කියා සිටියේ.

ආසන මට්ටමින් ප්‍රථම ප්‍රතිඵලය නිකුත් කරන වේලාව අනුමාන කළ නොහැකි නමුත් ජනාධිපතිවරණයේ පළමු තැපැල් ඡන්ද ප්‍රතිඵලය රාත්‍රී දහයෙන් පසුව ලබා දීමට හැකියාව ලැබෙනු ඇතැයි තමන් විශ්වාස කරන බවයි මැතිවරණ කොමසාරිස් මහින්ද දේශප්‍රිය පැවසුවේ.

ඉහළ උනන්දුවක්

ඡන්දය ප්‍රකාශය කිරීමේ ප්‍රතිශතය ගැන අදහසක් පළ කල නොහැකි බව පැවසූ කොමසාරිස්වරයා සමස්තයක් ලෙස ඡන්දය දැමීමේ ඉහළ උනන්දුවක් ජනතාව තුල තිබෙනු දක්නට ලැබුණු බවයි පැවසුවේ.

අද දිනයේ තමන් රජයේ නාලිකාවක පල වූ අනුමත කළ නොහැකි පුවතක් සම්බන්ධයෙන් එම ආයතනයට ගොස් එය නිවැරදි කරන ලෙස ඔවුන්ගෙන් ඉල්ලා සිටි බවත් එය නිවැරදි කිරීමට ඔවුන් කටයුතු කිරීම පිළිබඳ තම ස්තුතිය හිමි වන බවත් කොමසාරිස්වරයා ප්‍රකාශ කළේය.

ඡන්ද විමසීමේ කටයුතු සාර්ථකව පවත්වා ගෙන යාමට කැපවූ සියලු දෙනාට සිය ස්තූතිය පළ කළ මැතිවරණ කොමසාරිස් මහින්ද දේශප්‍රිය, මැතිවරණ වේදිකාවක සැරසිලි කරමින් සිටිය දී සිදුවූ වෙඩි තැබීමකින් තුවාල ලබා ප්‍රතිකාර ගනිමින් සිටිය දී මියගිය දේශපාලන පක්ෂ ආධාරකරුවා වෙනුවෙන් ඔහුගේ පවුලේ සාමාජිකයින්ට කනගාටුව ප්‍රකාශ කරන බවද පැවසුවේය.

මේ පුවතට සම්බන්ධ තවත් විස්තර