නව පාලනයට ඇමෙරිකානු සහයෝගය - රාජ්‍ය ලේකම්

නව ජනාධිපතිවරයා ලෙස තේරී පත් වූ මෛත්‍රිපාල සිරිසේන සමග සහයෝගයෙන් කටයුතු කිරීමේ අපේක්ෂාවෙන් සිටින බව ඇමරිකානු රාජ්‍ය ලේකම් ජෝන් කෙරී පවසයි.

සාර්ථක අයුරින් මැතිවරණය නිමා වීම පිළිබඳ ශ්‍රී ලාංකිකයන් වෙත ගෞරවය හිමි විය යුතු බවයි ඇමරිකානු රාජ්‍ය ලේකම් ජෝන් කෙරී නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේ.

ජනතා කැමැත්ත පිළිගනිමින් සාමකාමීව සහ ක්‍රමවත්ව බලය භාර දීමේ ශ්‍රී ලාංකික ප්‍රෞඪ චාරිත්‍රයට ගරු කිරීම සම්බන්ධයෙන් ජනාධිපති මහින්ද රාජපක්ෂ වෙත තම ගෞරවය ප්‍රකාශ කරන බවත් ඇමරිකානු රාජ්‍ය ලේකම් ජෝන් කෙරී නිකුත් කළ නිවේදනයේ සඳහන්.

මෝදි මෛත්‍රීට සුභ පතයි

මේ අතර ජනපති ධුරයේ දිව්රුම් දීමට නියමිත විපක්ෂයේ පොදු අපේක්ෂක මෛත්‍රිපාල සිරිසේනට දුරකතනයෙන් කතා කොට සුභ පැතූ බව ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි පවසයි.

සාමකාමී සහ ප්‍රජාතන්ත්‍රවාදී මැතිවරණයක් සම්බන්ධයෙන් ශ්‍රී ලාංකිකයන් වෙත ශුභාශිංසන පිරිනමන බව ඉන්දීය අග්‍රාමාත්‍ය අගමැති නරේන්ද්‍ර මෝදි තම ‘ට්වීටර්’ පණිවිඩයේ වැඩි දුරටත් සඳහන් කර තිබේ.