නව ජනපතිට විදෙස් සුබ පැතුම්

Image copyright Reuters
Image caption හොන්ග් ලී

ශ්‍රී ලංකාවේ නව ජනාධිපතිවරයා වශයෙන් තේරී පත් වූ මෛත්‍රීපාල සිරිසේනට චීනය, ඉන්දියාව සහ ඇමරිකා එක්සත් ජනපදය සුබ පතති.

ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝඩි ශ්‍රී ලංකාවේ නව ජනාධිපති මෛත්‍රිපාල සිරිසේනට දුරකතනයෙන් කතා කොට ශුභ පැතූ බවයි ඉන්දියානු මාධ්‍ය මගින් වාර්තා කෙරුණේ.

සාමකාමී සහ ප්‍රජාතන්ත්‍රවාදී අනාගතයක් වෙනුවෙන් ශ්‍රී ලාංකිකයන් වෙත ශුභාශිංසන පිරිනමන බව ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝඩි ‘ට්වීටර්’ පණිවිඩයක් මගින් කියා සිටියි.

චීන විදේශ අමාත්‍යංශ ප්‍රකාශක හොන්ග් ලී (Hong Lei) ශ්‍රී ලංකාවේ දේශපාලන පරිවර්තනය සම්බන්ධයෙන් මාධ්‍ය හමුවක දී අදහස් දක්වමින් කියා සිටියේ, ශ්‍රී ලංකාවේ ජනතාව විසින් තෝරා පත් කර ගනු ලැබුණ නව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනට සිය රටේ ශුභ පැතුම් පිරිනමන බවයි.

ශුභ අනාගතයක්

‘අපි ශ්‍රී ලංකා රජයට සහ නව පාලනය තුළ එරට ජීවත් වෙන ජනතාවට ශුභ පතනවා’ චීන විදේශ අමාත්‍යංශ ප්‍රකාශක හොන්ග් ලී පැවසීය.

නව ජනාධිපතිවරයාගේ පාලනය යටතේ ශ්‍රී ලංකාව සංවර්ධන මාවතේ ප්‍රගතියක් ලබනු ඇතැයි තම රට ප්‍රාර්ථනා කරන බවත් ඔහු සඳහන් කළේය.

‘චීනය සහ ශ්‍රී ලංකාව අතර ඉතා දැඩි පෞරාණික මිත්‍රත්වයක් පවතිනවා. ශ්‍රී ලංකාවේ මින් පෙර බලයේ සිටි හැම ආණ්ඩුවක්ම චීනය සමඟ ශක්තිමත් ගතික සහයෝගී සම්බන්ධතාවයක් පවත්වා ගෙන ගියා’ විදේශ අමාත්‍යංශ ප්‍රකාශක හොන්ග් ලී වැඩිදුරටත් කියා සිටියේය.

එම ද්විපාර්ශ්වීය සම්බන්ධතාවය සමාන පදනමක් මත ගොඩ නැගුන එසේම විශ්වාසය සහ අන්‍යෝන්‍ය යහපත උදෙසා වූවක් බවත් ඔහු සිහිපත් කළේය.

ඇමරිකානු රාජ්‍ය ලේකම්

නව ජනාධිපතිවරයා ලෙස තේරී පත් වූ මෛත්‍රිපාල සිරිසේන සමග සහයෝගයෙන් කටයුතු කිරීමේ අපේක්ෂාවෙන් සිටින බව ඇමරිකානු රාජ්‍ය ලේකම් ජෝන් කෙරී පවසයි.

සාර්ථක අයුරින් මැතිවරණය නිමා වීම පිළිබඳ ශ්‍රී ලාංකිකයන් වෙත ගෞරවය හිමි විය යුතු බවයි ඇමරිකානු රාජ්‍ය ලේකම් ජෝන් කෙරී නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේ.

ජනතා කැමැත්ත පිළිගනිමින් සාමකාමීව සහ ක්‍රමවත්ව බලය භාර දීමේ ශ්‍රී ලාංකික ප්‍රෞඪ චාරිත්‍රයට ගරු කිරීම සම්බන්ධයෙන් ජනාධිපති මහින්ද රාජපක්ෂ වෙත තම ගෞරවය ප්‍රකාශ කරන බවත් ඇමරිකානු රාජ්‍ය ලේකම් ජෝන් කෙරී නිකුත් කළ නිවේදනයේ සඳහන්.

මේ පුවතට සම්බන්ධ තවත් විස්තර