ඔබේ දුරකථනයේ හෝ පරිගණකයේ මෙය වාදනය කිරීමට අදාළ මෘදුකාංග නැත

හලාවත ගැටුමක් - ආරක්ෂාව තර කෙරේ

ජනාධිපතිවරණය නිමාවත් සමග නිශ්ශබ්දව සිටි ඇතැම් කණ්ඩායම් හලාවත ඇතුළු ප්‍රදේශ කීපයක ප්‍රචණ්ඩකාරී ලෙස හැසිරීම නිසා පළාතේ විශේෂ පොලිස් කණ්ඩායම් කිහිපයක් යොදවා තිබේ.

අද, සෙනසුරාදා පස්වරුවේ හලාවත බංගදෙනිය ප්‍රදේශයේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ආධාරකරුවෙකුගේ නිවසකට ගොස් පහර දීමට ගිය එක්සත් ජාතික පක්ෂ කණ්ඩායමකට නිවැසියන් පෙරලා පහර දීම හේතුවෙන් බංගදෙනිය ප්‍රදේශයේ ජිවත් වූ ප්‍රබල එක්සත් ජාතික පක්ෂ ක්‍රියාකාරිකයෙකු වන මංජුල ප්‍රසන්න මිය ගියේය.

මංජුල ප්‍රසන්න පසුගිය පළාත් පාලන මැතිවරණයේ දී ආරච්චිකට්ටුව ප්‍රාදේශීය සභාව සඳහා තරග කළේය.

අද පස්වරුවේ ඇතිවූ මේ තත්වයත් සමග ප්‍රදේශයේ ආරක්ෂාව තහවුරු කිරීම සඳහා විශේෂ පොලිස් කණ්ඩායම් කීපයක් ප්‍රදේශයට කැඳවීමට සිදුවූ බව හලාවත පොලිස් අධිකාරී සාලිය ද සිල්වා පැවසුවේය.

අද පෙරවරුවේ සිට ප්‍රදේශයේ රජයේ පොදු ආයතන කීපයකට ගිය එක්සත් ජාතික පක්ෂ ආධාරකරුවන් නීත්‍යනුකූල නොවන අයුරින් ඒවායේ බලය ලබා ගැනීමට ගිය සිදුවීම් කීපයක්ද වාර්තා වී ඇත.

හලාවත නගර සභාව යටතේ පාලනය වන හලාවත මාලු වෙළද පොලේ හා හලාවත එළවළු වෙළද පොලේ මුදල් ගැනීමක් පිළිබඳව හලාවත පොලිසියට පැමිණිලි කීපයක්ද ලැබී තිබේ .