ඔබේ දුරකථනයේ හෝ පරිගණකයේ මෙය වාදනය කිරීමට අදාළ මෘදුකාංග නැත

එජානිස සමග සාකච්ඡා කරනවා -විජේදාස රාජපක්ෂ

ජනවාරි අටවෙනි දින බලයට පත් නව ආණ්ඩුව පාර්ලිමේන්තුව තුළ ක්‍රියාත්මක වන්නේ සුළුතර කණ්ඩායමක් හැටියට නමුත් එවැනි සුළුතර ආණ්ඩු බලයේ සිටීම අලුත් අත්දැකීමක් නොවන බව පාර්ලිමේන්තු මන්ත්‍රී විජේදාස රාජපක්ෂ පවසයි.

බීබීසී සංදේශය සමඟ පැවැත්වූ සාකච්ඡාවක දී මන්ත්‍රීවරයා කියා සිටියේ නව ආණ්ඩුව විසින් ඉදිරිපත් කරන ප්‍රගතිශීලී ප්‍රතිසංස්කරණවලට එක්සත් ජනතා නිදහස් සන්ධානයේ සහයෝගය ලැබෙන බවයි.

‘රටේ ජනතාවට අවශ්‍ය ප්‍රජාතන්ත්‍රවාදී නීති ගෙන ඒමේ දී එය සුළුතරයේ ආණ්ඩුවක් වුනත් අනිත් පක්ෂ වලට ඒවාට එකඟ වීමට සිදු වෙනවා. ජනතා වැඩ පිළිවෙලකට යම් මන්ත්‍රී කණ්ඩායමක් විරුද්ධ වුනොත් එම මන්ත්‍රී කණ්ඩායම ජනතාවගෙන් ප්‍රතික්ෂේප වෙනවා’ පාර්ලිමේන්තු මන්ත්‍රී විජේදාස රාජපක්ෂ පෙන්වා දෙයි.

අවශ්‍ය සහයෝගය ලබා ගැනීම සඳහා පාර්ලිමේන්තුව තුළ නියෝජනය වෙන එක්සත් ජනතා නිදහස් සන්ධානයේ ජ්‍යෙෂ්ඨ මන්ත්‍රීවරුන් සමඟ දැනටමත් සාකච්ඡා ආරම්භ කර ඇතැයි සඳහන් කළ මන්ත්‍රීවරයා යහපත් කාර්යයන් සඳහා පාර්ලිමේන්තුවේ සහයෝගය ලැබෙන බව තේරුම් ගොස් ඇති බවත් කියා සිටියි.

ජාතික ආණ්ඩුව

වර්තමාන පාර්ලිමේන්තුවේ නිල කාලය ලබන වසරේ අප්‍රියෙල් මාසය තෙක් පවතින බව සඳහන් කළ විජේදාස රාජපක්ෂ මන්ත්‍රීවරයා එම කාලය ඇතුළත එකඟ විය හැකි වැඩ පිළිවෙලකට අනුව කටයුතු කිරීමට තමන් සූදානම් බවයි වැඩි දුරටත් සඳහන් කළේ.

ප්‍රගතිශීලී නීති රීති හඳුන්වා දෙමින් එම කාලය ඇතුළත ජාතික ආණ්ඩුවක මට්ටමින් කටයුතු කිරීමට පියවර ගන්නා බවයි මන්ත්‍රීවරයා පවසන්නේ.

නව අමාත්‍ය මණ්ඩලයට පාර්ලිමේන්තුවේ විශ්වාසය නො ලැබුනොත් පාර්ලිමේන්තුව විසුරුවා හරිමින් නව මැතිවරණයකට යාමට සිදු වන බවත් ඔහු පෙන්වා දෙයි.