පාළු අගනුවරින් ප්‍රීතිඝෝෂා නැගුණු හෝරාව

Image copyright AFP
Image caption ජනතා බලාපොරොත්තු සාක්ෂාත් කිරීමට නව ජනාධිපතිවරයා ප්‍රමුඛ අලුත් ආණ්ඩුව සමත් වේවිද?

ශ්‍රී ලංකාවේ හත්වැනි ජනාධිපතිවරණයේ ප්‍රතිඵල නිකුත් වූ සිකුරාදා සවස් යාමයේ මුළු අගනුවර පුරාම දක්නට ලැබුනේ පාළු ස්වභාවයක්.

සියලුම කඩ සාප්පු වසා දමා තිබුණු අතර, මගේ ජංගම දුරකතනයට ‘රීලෝඩ් එකක්’ දමා ගැනීම පිණිසත් මට බොහෝ දුර ගෙවා යාමට සිදුවිය.

ජනතාව පමණක් නොව කිසිම වීථියක පොලිස් නිලධාරියෙක් පවා දක්නට ලැබුනේ නැහැ.

මා සමඟ සිටි මාධ්‍යවේදී ජයසිරි ජයසේකර ඒ සන්ධ්‍යාවේ ශ්‍රී ලංකාව පුරා පැවති වාතාවරණය විග්‍රහ කළේ 'ඇඳිරි නීතිය පැනවූවා හා සමාන' වාතාවරණයක් ලෙසින්.

පෙර දින මුළු රාත්‍රියම රූපවාහිනී තිරවලට දෑස් යොමාගෙන උනන්දුවෙන් මැතිවරණ ප්‍රතිඵල නරඹමින් සිටි ජනතාව සවස් යාමයේ නින්දට යාම මේ අසාමාන්‍ය නිශ්චලත්වයට ප්‍රධාන හේතුව ලෙසිනුයි මට දක්නට ලැබුණේ.

පශ්චාත් මැතිවරණ ප්‍රචණ්ඩ ක්‍රියා පිළිබඳව ජනතාව තුල පැවති බිය එයට තවත් හේතුවක් බව නිදහස් මාධ්‍ය ව්‍යාපාරයේ කැඳවුම්කරු සුනිල් ජයසේකර මා සමඟ පැවසීය.

නව බලාපොරොත්තු

ජනශූන්‍ය, වාහනවලින් තොර මාර්ග ඔස්සේ ගල්කිස්සේ සිට කොළඹ නිදහස් චතුරශ්‍රය කරා ගමන් කිරීම අන් බොහෝ දිනවලට වඩා පහසු වූයේ වෙනත් දිනවල පවතින මාර්ග තදබදය නිසා දිගු වේලාවක් ගතවන ඒ ගමන විනාඩි තිහක් වැනි කාලයකින් නිමා වූ නිසා.

Image copyright Reuters
Image caption මහ සෙනග පීරා ගෙන අපි නිදහස් චතුරශ්‍රයේ වේදිකාවට ඇතුළු වූයේ ඉතාමත් අපහසුවෙන්

එහෙත් නිදහස් චතුරශ්‍රයට ළඟාවන විට එහි පැවතියේ ඊට හාත්පසින්ම වෙනස් වාතාවරණයක්.

බස් රථ, මෝටර් රථ, යතුරු පැදිවල නැගි සිය ගණනක් පිරිස් කොළ සහ නිල් පැහැති කොඩි වනමින් ඒ අසල වීදි සංචාරය කළේ නව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන වෙනුවෙන් සවුදිය පුරමින්.

ඉන් අනතුරුව පොරකමින් සිටි මහ සෙනග පීරා ගෙන නිදහස් චතුරශ්‍රයේ වේදිකාවට මා ඇතුළු වූයේ ඉතාමත් අපහසුවෙන්.

එහි ඇතුළු වූ පසුවත් අසාම් අමීන්, යෝගිතා ලිමායේ ඇතුළු සමස්ත බීබීසී කණ්ඩායමට නව ජනාධිපතිවරයා දිවුරුම් දීමේ අවස්ථාවේ සමීප දසුන් දැකගැනීමට හැකි වූයේ නැහැ.

ඒ එහි රැදී සිටි දහස් සංඛ්‍යාත සෙනඟ පීරා යාම ඉතා අසීරු වීම නිසා.

ශ්‍රී ලංකා ජනපතිවරණ ඉතිහාසයේ නව පිටුවක් සටහන් කරමින් නව ජනපති මෛත්‍රීපාල සිරිසේන දිවුරුම් දෙද්දී නිදහස් චතුරශ්‍රයේ රැස්ව සිටි මහජනකාය ප්‍රීතිඝෝෂා නැගුවේ නව යුගයක උදාව පිළිබඳ ඔවුන්ගේ බලාපොරොත්තුව සනිටුහන් කරමින්.

ඔවුන්ගේ ඒ බලාපොරොත්තු සාක්ෂාත් කිරීමට නව ජනාධිපතිවරයා ප්‍රමුඛ අලුත් ආණ්ඩුව සමත් වේවිද? ඔවුන් මුහුණ දෙන ප්‍රධානම අභියෝගය එයයි.