ඔබේ දුරකථනයේ හෝ පරිගණකයේ මෙය වාදනය කිරීමට අදාළ මෘදුකාංග නැත

අගවිනිසුරු මොහාන් පීරිස්ට එරෙහිව විරෝධතාවක්

ජනාධිපතිවරණ ප්‍රතිඵල නිකුත් වූ අවස්ථාවේදී ජනමතය විකෘති කිරීමට උත්සාහ කළ අග විනිසුරු මොහාන් පිරිස් එම ධුරයෙන් ඉවත් විය යුතු බවට නීතිවේදීන්ගේ එකමුතුව ඇතුළු සිවිල් සංවිධාන බල කරයි.

ශ්‍රී ලංකා නීතිවේදීන්ගේ එකමුතුව සහ සිවිල් සංවිධාන එකමුතුව විසින් අග විනිසුරුවරයාට එරෙහිව උද්ඝෝෂණය පවත්වනු ලැබුවේ කොළඹ ශ්‍රේෂ්ඨාධිකරණ සංකීර්ණයට ඇතුළු වන විශේෂ ආරක්ෂක මාර්ගය ඉදිරිපසයි.

අගවිනිසුරුවරයා රාජකාරිය සඳහා ශ්‍රේෂ්ඨාධිකරණයට පැමිණෙන අවස්ථාවේදී ඔහුට විරෝධය පළ කිරීමේ අටියෙන් උද්ඝෝෂණය පැවැත් වූ නමුත් එම කාල සීමාව තුල අගවිනිසුරුවරයා අධිකරණයට නොපැමිණියේය.

උද්ඝෝෂණය අතරවාරයේ අදහස් දැක්වූ නීතිවේදීන්ගේ එකමුතුවේ ජ්‍යෙෂ්ඨ සාමාජික නීතිඥ ගුණරත්න වන්නිනායක කියා සිටියේ අග විනිසුරුවරයා හිටපු ජනාධිපතිවරයා සමග එක් වී ජනාධිපතිවරණ ප්‍රතිඵල විකෘති කිරීමට උත්සාහ කර ඇති බවයි.

‘මේක බරපතළ ක්‍රියාවක්. ජනාධිපතිවරණ ප්‍රතිඵල නිකුත් වන දින අරලියගහ මන්දිරයට ගොස් මේ ජයග්‍රහණය වළක්වන්න ක්‍රියා කළ එක් චූදිතයෙක් තමා මොහාන් පිරිස්. මේ අධිකරණ භූමියට පා තැබිය හැක්කේ ශුද්ධ වූ විනිසුරන්ට පමණයි. ඒ නිසා දේශපාලන කුමන්ත්‍රණවල නියැලෙන මොහාන් පිරිස් වැනි විනිසුරන්ට මේ ශුද්ධ භූමිය පාගන්න ඉඩ දෙන්න බැහැ. ඒ නිසා ඔහු අධිකරණයට අවමන් නොකොට ඉල්ලා අස් විය යුතුයි’ යනුවෙන් නීතිඥ ගුණරත්න වන්නිනායක පැවසුවේය.

ශිරානි බණ්ඩාරනායක

උද්ඝෝෂණයට එක් වූ නීතිඥ සුනිල් වටගල කියා සිටියේ නීති විරෝධී ආකාරයෙන් ධුරයෙන් පහ කළ හිටපු අග්‍ර විනිශ්චයකාර ශිරානි බණ්ඩාරනායක යළි එම ධුරයට පත් කළ යුතු බවයි.

‘ශ්‍රී ලංකාවේ හතළිස් තුන් වන අග්‍ර විනිශ්චයකාර තනතුර හිස් වෙලා නැහැ. එහි සිටි අග විනිසුරු ශිරානි බණ්ඩාරනායක තනතුරෙන් ඉවත් කළේ නීති විරෝධී ආකාරයට. ඒ වගේම මොහාන් පිරිස් පත් කළෙත් නීති විරෝධී ආකාරයට. එම නිසා හිටපු අග්‍ර විනිශ්චයකාර විනිසුරුවරිය අදාළ ධුරයට පත් කිරීමට රජය කටයුතු කළ යුතුයි’ යනුවෙන් නීතිඥ සුනිල් වටගල කියා සිටියේය.

අග විනිසුරුවරයා තනතුරෙන් ඉල්ලා අස් නොවන්නේ නම් හෙට දින යළි උද්ඝෝෂණය පවත්වන බවත් නීතිවේදීන්ගේ එකමුතුව අවධාරණය කළේය.

රජයේ හෙද නිලධාරීන්ගේ සංගමයේ සභාපති සමන් රත්නප්‍රිය ඇතුළු වෘත්තීය සමිති ක්‍රියාධාරයෝ රැසක් ද උද්ඝෝෂණය සඳහා එක් වී සිටියහ.