ඔබේ දුරකථනයේ හෝ පරිගණකයේ මෙය වාදනය කිරීමට අදාළ මෘදුකාංග නැත

මෛත්‍රී ශ්‍රීලනිපයේ සභාපති කර වීම 'නීති විරෝධීයි'

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ නායකත්වය යටතේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ඉදිරියටත් දේශපාලනයේ නිරත වන බව හිටපු අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා පවසයි.

‘ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති ධුරයට පත් වීමට නම් යම් ජනාධිපතිවරයෙක්, ඔහු ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නියෝජනය කරමින් හරි, ශ්‍රී ලංකා නිදහස් පක්ෂ පාර්ශවයක සන්ධානයක් නියෝජනය කරමින් හරි තරගයට පිවිසිලා ජනාධිපති පදවියට පත් වෙන්න ඕනි’ යනුවෙන් සිරිපාල ද සිල්වා හිටපු අමාත්‍යවරයා පැවසුවේ කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින්.

ජනාධිපතිවරණය සඳහා නාම යෝජනා භාර දුන් අවස්ථාවේ අභිනව ජනාධිපති මෛත්‍රිපාල සිරිසේනගේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සාමාජිකත්වය ‘තහනම්’ කළ බැවින් ඔහුට කෙසේවත් පක්ෂ නායකත්වය හිමි නොවන බවයි සිරිපාල ද සිල්වා හිටපු අමාත්‍යවරයා සඳහන් කළේ.

ඒ අනුව මෛත්‍රිපාල සිරිසේන ජනාධිපතිවරයා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නව සභාපතිවරයා වශයෙන් හුවා දක්වමින් කරන ලද ප්‍රකාශ සම්පුර්ණයෙන්ම නීති විරෝධී ක්‍රියාවක් ලෙසයි හිටපු අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා හැඳින් වූවේ.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මධ්‍යම කාරක සභාවේ සාමාජිකයන් පනස් තුන් දෙනා අතුරින් හතළිස් එක් දෙනකුම මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයාට සහාය පළ කරන බවත් සිරිපාල ද සිල්වා හිටපු අමාත්‍යවරයා කියා සිටියේය.

'කුමන්ත්‍රණ සහ ඊලම'

ජනාධිපතිවරණයෙන් පසු හමුදා සහාය ලබා ගනිමින් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ බලයේ රැඳී සිටීමට උත්සාහ කළ බවට නැගෙන චෝදනා මේ අතර හිටපු අමාත්‍ය සිරිපාල ද සිල්වා ප්‍රතික්ෂේප කළේය.

අභිනව ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන ජනාධිපතිවරණය ජයග්‍රහණය කළේ ඊලාම් ඡන්ද නිසා යැයි බව හිටපු ජනාධිපතිවරයා තම උපන් ගම හම්බන්තොටට ගොස් කළ ප්‍රකාශය සම්බන්ධයෙන් එහිදී බීබීසීය හිටපු අමාත්‍ය සිරිපාල ද සිල්වාගෙන් විමසා සිටියේය.

‘ඒක එතුමාගෙන් අහන්න ඕනි, ඒක එතුමා කළ ප්‍රකාශයක්නේ. ඔබතුමා ජනාධිපතිතුමාගෙන් අහන්න ඕනි ඔබතුමා මෙහෙම ප්‍රකාශයක් කළාද?. ඊට පස්සේ එතුමා උත්තර දෙන්න ඕනි’ යනුවෙන් ඊට පිළිතුරු දෙමින් හිටපු අමාත්‍ය සිරිපාල ද සිල්වා පැවසුවේය.