ඔබේ දුරකථනයේ හෝ පරිගණකයේ මෙය වාදනය කිරීමට අදාළ මෘදුකාංග නැත

දූෂිතයන් රටෙන් පැන යෑම වැළැක්විය යුතුයි - ජවිපෙ

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ, හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ, පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ, හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ ඇතුළු දොළොස් දෙනකුට එරෙහිව ජනතා විමුක්ති පෙරමුණ අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසමට පැමිණිලි කරයි.

ජොන්ස්ටන් ප්‍රනාන්දු, රෝහිත අබේගුණවර්ධන යන හිටපු අමාත්‍යවරු සහ මහ බැංකුවේ හිටපු අධිපති අජිත් නිවාඩ් කබ්රාල්ද ඉහත කී දොළොස් දෙනා අතර වේ.

දූෂණ චෝදනා එල්ල වී තිබෙන පුද්ගලයන්ට නීතිය මග හැර රටින් පිටව යෑම වැළැක්වීම සඳහා අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසම වහා පියවර ගත යුතු බවයි පැමිණිලි ගොනු කළ ජනතා විමුක්ති පෙරමුණ කියා සිටියේ.

‘දැන් මේ දවස්වල සිද්ධ වෙමින් යන දේ තමයි ඒ චෝදනාවලට වග උත්තර කරුවන් හදිස්සියේම රට පැනලා යනවා. බැසිල් රාජපක්ෂ මහත්තයා මැතිවරණය අවසන් වෙලා දවසක් යන කොට රටින් පැනලා ගියා’ යනුවෙන් ජනතා විමුක්ති පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් පැවසුවේය.

මීට පෙර පැවති ආණ්ඩුව යටතේ අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසම ස්වාධීනව ක්‍රියාත්මක නොවූ බවත් නව ආණ්ඩුව යටතේ එසේ නොවනු ඇතැයි තමා බලාපොරොත්තු වන බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් සඳහන් කළේය.

‘ජනතාවගේ දේපොළ හොරකම් කරපු මංකොල්ල කාපු පුද්ගලයන්ට නීතියෙන් ගැලවෙන්න ඉඩ දිය යුතු නැහැ. ඒ වගකීම ඉටු කරන්න අපි මැදිහත් වෙනවා’ යනුවෙන් ජනතා විමුක්ති පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් වැඩිදුරටත් කියා සිටියේය.