'යුද්ධය අමතක කොට සහෝදරත්වයෙන් ජීවත්වන්න' - පාප් වහන්සේ

Image caption අතිඋතුම් ශුද්ධ වූ පාප්වහන්සේ කෙනෙකු උතුරු පළාතට පැමිණි මුල්ම අවස්ථාව මෙයයි

යුද සමයේදී පවා මන්නාරම මඩුදේවස්ථානයට පැමිණි උතුරේත් දකුණේත් ජනතාව ජාතිභේද ආගම්භේද අතහැර සහෝදරත්වයෙන් යුතුව ජීවත් වූවා සේම යුද්ධයේ කටුක බව අමතක කොට එකිනෙකාට සමාව දෙමින් සමස්ථ ශ්‍රී ලංකා වාසීන් සහෝදරත්වය පෙරදැරි කරගෙන ජීවත් විය යුතුව ඇතැයි ෆ්‍රැන්සිස් පාප්වහන්සේ 14 දා සවස මන්නාරම මරුද මඩු දේවස්ථානයේ පවැත්වූ විශේෂ දේවමෙහෙයෙන් පසුව ජනතාවගෙන් ඉල්ලා සිටියේය.

අතිඋතුම් ශුද්ධ වූ පාප්වහන්සේ කෙනෙකු උතුරු පළාතට පැමිණි මුල්ම අවස්ථාව මෙය වන අතර එසේ පැමිණි ෆ්‍රැන්සිස් පාප්වහන්සේට මඩු දේවස්ථානයේදී ලැබුණේ ඉතාම ඉහල මට්ටමේ පිළිගැනීමකුයි.

'මුළු රටටම දේව ආශීර්වාදයක්'

උතුරු පළාතට ආවේණික වූ සංගීත භාණ්ඩ වයමින් අලංකාර පෙරහැරකින් පාප්වහන්සේව මඩු දේවස්ථානය කරා වැඩම කරවන ලද අතර උන්වහන්සේව දැක බලා ගැනීම පිණිස පන්ලක්ෂයකට අධික පිරිසක් මඩු දේවස්ථානයට පැමිණ සිටියහ.

පිළිගැනීමේ කතාව කල මන්නාරම රදගුරු රායප්පු ජොෂප් හිමිපාණන් කිය සිටියේ ඉතා දීර්ඝ ඉතිහාසයක් ඇති මඩු දේවස්ථානයට ෆ්‍රැන්සිස් පාප්වහන්සේ පැමිණීම නිසා මුලු රටටම එය දේව ආශිර්වාදයක් වූ බවයි.

මඩු දේවස්ථානයේ ඉතිහාසය සහ යුද සමයේදී ඊට එල්ලවූ විවිධ බලපැම්ද සිය පිළිගැනීමේ කතාවේදී රායප්පු ජෝශප් හිමිපාණන් විසින් විස්තර කරණු ලැබීය.

අනතුරුව පාප්වහන්සේ විසින් මඩුදේවස්ථානයේදී විශේෂ දේව මෙහෙයක් පවත්වා සියලු ජනතාවට කිසිදු කරදරයකින් තොරව ජීවත්වීමට වාසනාව ලැබේවායි ප්‍රාර්ථනා කළේය.

'සාමය ස්ථාවර කර ගන්න'

යුද සමයේදී මෙම භූමිය තුලදීම මිනිසුන් විශාල පිරිසක් මිය ගිය බවත් තුවාල ලැබූ බවත් කී පාප්වහන්සේ එලෙසින්ම ශ්‍රී ලංකාවේ අනෙක් පළාත්වලද එවැනිම තත්ත්වයක් උද්ගත වූ බවද පැවසූහ.

නමුත් සාමය උදාවී ඇති මේ අවස්ථාවේදී සියලු දෙනාටම සමාව ලබාදී එකිනෙකා සහෝදරත්වයෙන් යුතුව කටයුතු කොට සාමය තව තවත් ස්ථාවර කර ගත යුතුව ඇතැයිද කියා සිටියේය.

යුද සමයේදී මඩු මාතාවගේ පිළිරුව ආරක්ෂාව වෙනුවෙන් වෙනත් පළාතකට රැගෙන යාමට පවා සිදුවූ බව මතක් කළ පාප්වහන්සේ එය ආපසු රැගෙන ඒමට හැකියාව ලැබුණු පරිද්දෙන්ම ශ්‍රී ලංකා වාසීන්ට සහෝදරත්වයෙන් හා සාමයෙන් යුතුව ජීවත්වීමට අවකාශ ලබේවායිද ප්‍රාර්ථනා කළහ.

මේ පුවතට සම්බන්ධ තවත් විස්තර