නිදහස් පක්ෂය මෛත‍්‍රීට ?

Image caption කලකට පෙර ගත් මෙම ඡායාරූපය තවමත් මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයාගේ නිවසේ බිත්තියක එල්ලා තිබෙන අයුරු බීබීසී කැමරාවට හසු විය.

ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ ඉහළම තනතුර වන එහි සභාපති ධුරය, ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන වෙත ලබා දීමට හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ එකඟතාව පළ කර ඇති බව වාර්තා වෙයි.

ඊයේ (14) රාත්‍රියේ දී කොළඹදී මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයා හා ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන අතර පැවති විශේෂ හමුවක දී හිටපු ජනාධිපතිවරයා මෙම එකඟතාවය පල කළ බවයි බිබිසියට අදහස් දැක්වූ හිටපු ජනාධිපතිවරයාගේ මාධ්‍ය සම්බන්ධීකාරක නිලධාරියෙකු පැවසුවේ.

දේශපාලනයෙන් සමු ගැනීමට?

ඊයේ පැවති සාකච්ඡාවේදී තමා ක්‍රියාකාරී දේශපාලනයෙන් සමු ගැනීමට අදහස් කරන බවට හිටපු ජනාධිපතිවරයා නව ජනාධිපතිවරයාට පවසා ඇති බවද ද ඇතැම් මාධ්‍ය වාර්තා කර තිබේ.

හෙට දිනයේ පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මධ්‍යම කාරක සභා රැස්වීමේදී මේ සම්බන්ධයෙන් අවසන් තීරණයක් ගැනීමට නියමිත බවයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ හිටපු ජ්‍යෙෂ්ඨ ඇමතිවරයෙක් බිබිසියට පැවසුවේ.

බොහෝ දුරට හෙට පැවැත්වෙන එම රැස්වීමට හිටපු ජනාධිපතිවරයා හා නව ජනාධිපතිවරයා සහභාගී විය හැකි බවයි ඔහු පැවසුවේ.

මේ අතර අද සවස ශ්‍රී ලංකා නිදහස් පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායමත් සමග නව ජනාධිපතිවරයා පැවැත්වීමට යොදා ගෙන තිබූ රැස්වීම අවලංගු කර ඇති බව වාර්තා වෙයි.

ගනු දෙනුවක්?

Image copyright AFP

දින කිහිපයකට පෙර නිදහස් පක්ෂයේ සභාපති ධුරයේ දිගටම කටයුතු කරන බව පැවසූ හිටපු ජනාධිපතිවරයා හදිසියේ එම තනතුර අත්හැරීමට තීරණය කර ඇත්තේ තම පවුලේ සාමාජිකයන්ට එරෙහිව සිදු විය හැකි දේශපාලන පළි ගැනීම් හා හිරිහැර වළක්වා ගැනීමේ අරමුණින් විය හැකි බවයි මේ සම්බන්ධයෙන් සංදේශයට අදහස් දැක්වූ දේශපාලන විචාරකයෙකු කියා සිටියේ.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රීවරුන් විශාල පිරිසක් නව ජනාධිපතිවරයා හා එක්වීමට සුදානමින් සිටීමද මෙම තීරණයට බලපෑ එක් කරුණක් විය හැකි බවයි ඔහු පැවසුවේ.

විරවංශ හා ගම්මන්පිල

මේ අතර ඩේලි මිරර් පුවත්පත වාර්තා කළේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති ධුරයෙන් ඉල්ලා අස් නොවිය යුතු බවට හිටපු අමාත්‍ය විමල් විරවංශ සහ පළාත් සභා මන්ත්‍රී උදය ගම්මන්පිල හිටපු ජනාධිපතිවරයාගෙන් ඉල්ලා තිබෙන බවයි.

මේ නව තත්වය යටතේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජ්‍යෙෂ්ඨයන් කිහිප දෙනෙකුටම මෙම නව ආණ්ඩුවේ අමාත්‍ය ධුර ලබා දීමේ සුදානමක් ඇති බවද වාර්තා වේ.

කෙසේ වෙතත් වංචා දූෂණ චෝදනා ඇති හිටපු අමාත්‍යවරුන්ට ඉදිරි මැතිවරණයේ දී නාම යෝජනා ලබා නොදෙන බව නව ජනාධිපතිවරයා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජ්‍යෙෂ්ඨයන්ට දන්වා ඇති බවද වාර්තා වේ.

මේ පුවතට සම්බන්ධ තවත් විස්තර