ඔබේ දුරකථනයේ හෝ පරිගණකයේ මෙය වාදනය කිරීමට අදාළ මෘදුකාංග නැත

ශුද්ධොත්තම පාප් වහන්සේ ලංකාවෙන් නික්ම යති

අති උතුම් ශුද්ධොත්තම ෆ්‍රැන්සිස් පාප් වහන්සේ කටුනායක අන්තර් ජාතික ගුවන් තොටුපළින් අද පෙරවරුවේ මෙරටින් නික්ම ගියහ. උන් වහන්සේ ශ්‍රී ලන්කන් ගුවන් යානයකින් වැඩම කළේ පිලිපීනයේ මැනිලා නුවරටයි .

නිල සමු දීමේ උත්සවය කටුනායක අන්තර් ජාතික ගුවන් තොටුපලේ දී ජනාධිපතිවරයාගේ හා අග්‍රාමාත්‍යවරයාගේ ද සහභාගිත්වයෙන් පැවති අතර මේ සඳහා කතෝලික සභාවේ පුජකතුමන්ලා ඇතුළු පාසල් කීපයක ශිෂ්‍ය ශිෂ්‍යාවෝ එක් වුහ.

අති උතුම් ශුද්ධොත්තම ෆ්‍රැන්සිස් පාප් වහන්සේගේ මෙරට සංචාරයේ ප්‍රධානතම අරමුණ වූයේ ජෝශප් වාස් මුනිතුමන් ශ්‍රී ලංකාවේ පළමු ශාන්තුවරයා ලෙස ඔසවා තැබීමයි.

ජාති, ආගම් භේදයකින් තොරව ශුද්ධොත්තම පාප් වහන්සේ ශ්‍රී ලංකා වාසීන් විසින් පිළිගනු ලැබුණු අතර පසුගිය දින දෙක තුළ ගාලු මුවදොර හා මරද මඩු සිද්ධස්ථානයේ දී ලක්ෂ ගණනින් ජනතාව ශුද්ධොත්තම පියතුමා දැක බලා ගැනීමට පැමිණ සිටියහ.

කාදිනල් හිමිපාණන්ගේ ප්‍රකාශය

අගරදගුරු මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් අද කටුනායක ගුවන්තොටුපලේදී බී.බී.සී. සංදේශයට විශේෂ ප්‍රකාශයක් කරමින් කියා සිටියේ සුහදතාවය, සාධාරණත්වය පදනම් වූ එකමුතුවක් ඇතිවිය යුතුයි යන පණිවිඩය ශුද්ධෝත්තම පියතුමන් පසුගිය දින දෙක තුළ සෑම අවස්ථාවකදී ම පෙන්වා දුන් බවයි. පවතින ගැටළු සදහා සියලු දෙනා සමග එක්ව සැමට සාධාරණය වන අයුරින් විසඳුමක් සොයා ගැනීමට කැප වන බවද මෙහිදී පෙන්වා දුන් අගරදගුරු මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණෝ ජනතා කැමැත්තෙන් පත් වූ නව රජයට සහය දෙන බවද ප්‍රකාශ කළහ.