'හමුදා කඳවුරු ඉවත්කරන්නේ නැහැ' - ඉඩම් ඇමති

Image caption ඇමතිවරයා සංදේශයට මුණගැසුනේ කන්තලේ වෙලුන්නා පිරිවෙන් විහාරස්ථානයේදීය

පසුගිය රජයෙන් හමුදා කඳවුරු පවත්වාගෙන යාම පිණිස පවරා ගත් උතුරේ ඉඩම ක්ෂණිකවම නැවත එම ජනතාවට ලබා දීමට සැලසුමක් නැති බව වත්මන් රජයේ ඉඩම් ඇමති සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සේරුවිල ආසන සංවිධායක එම කේ ඒ ඩී එස් ගුණවර්ධන අද සංදේශයට ප්‍රකාශ කළේය.

“ඒ වෙලාවේ රජයේ සහ පොදු ඉඩම් පවරගන්න සිදු වුණා. ඒ නිසා තමයි මේ සාමය ඇති කරගන්න පුළුවන් වුණේ. නමුත් අපි කොහෙවත් තියන ආරක්ෂක හමුදා ඉවත් කරන්නෙ නැහැ. නමුත් අපි ජනතාවගේ යහපත සඳහා වෙනත් විකල්ප ඉඩම් හොයල ඒවා දීල ඉවරවෙල ගොවියන්ගෙ අවශ්‍යතාවයන් පිරිමහනව” යනුවෙන් ඔහු පැවසීය.

යුද්ධය අවසන් වීමෙන් පසු වනජීවී සහ වන සංරක්ෂණ දෙපාර්තමේන්තු විසින් ගම් වැසියන්ගේ වගා බිම් සහ වාස භුමි බලහත්කාරයෙන් උදුරාගෙන ඇති බවට වත්මන් ඉඩම් ඇමතිවරයා මීට පෙර පැවති රජයට චෝදනා කළ අයෙක්.

එම ගම්වැසියන්ට සාධාරණය ඉටුකරන්නේ දැයි සංදේශය විමසු විට ඔහු කියා සිටියේ එම චෝදනාව සත්‍ය බවත් එම ඉඩම් සම්බන්ධව සහ පසුගිය කාලය තුළ නිකුත් කළ ගැසට් නිවේදන ආදිය පිළිබඳව සලකා බලා වැඩි වන ජනගහනයත් සමග සංශෝධනය කළ යුතු නම් එසේ කොට සාකච්ඡා මාර්ගයෙන් විසඳුමකට එන බවයි.

අමාත්‍ය ගුණවර්ධන අද කන්තලේ සිට ත්‍රිකුණාමලය දක්වා රිය පෙරහරකින් ගමන් ගත් අතර මග දෙපස තැනින් තැන සංවිධානය කර තිබූ උණුසුම් පිළිගැනීම මැද යි.

පාර්ලිමේන්තු සම්ප්‍රදාය ආරම්භ වීමෙන් පසු ත්‍රිකුණාමලයෙන් බිහිවූ ප්‍රථම කැබිනට් ඇමතිවරයා වන්නේද ගුණවර්ධන මහතායි.

ඔහු වත්මන් ජනාධිපතිවරයා බලයට පත් කිරීමට පෙරමුණ ගත් අයෙක් වුවද තම ආසනය වන සේරුවිල ආසනයේ හංසයා ලකුණ ජයග්‍රහණය කර වීමට අසමත් විය.

මේ පුවතට සම්බන්ධ තවත් විස්තර