ඔබේ දුරකථනයේ හෝ පරිගණකයේ මෙය වාදනය කිරීමට අදාළ මෘදුකාංග නැත

යහපාලනය ඉල්ලා කල්පිටියේ විරෝධයක්

මහින්ද රාජපක්ෂ පාලනය සමයේ දේශපාලනඥයන් විසින් අල්ලා ගත් ඉඩම් යළි ජනතාව අතට පත් කර දෙන මෙන් ඉල්ලා කල්පිටිය ප්‍රදේශවාසීහු උද්ඝෝෂණයක නිරතව සිටියහ.

මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයාගේ ආණ්ඩුව යටතේ කල්පිටිය ප්‍රදේශයේ සිදු වූ අක්‍රමිකතා නව ආණ්ඩුව විසින් නිවැරදි කළ යුතු බවයි උද්ඝෝෂකයන් පවසන්නේ.

යහපාලනය ඇති කරන බවට මෛත්‍රිපාල සිරිසේන ජනාධිපතිවරයා ජනතාව හමුවේ දුන් පොරොන්දුව ඒ ආකාරයෙන් ඉෂ්ට කරනු ඇතැයි තමා බලාපොරොත්තු වන බව උද්ඝෝෂණයට එක් වී සිටි කල්පිටිය සමුද්‍රාසන්න විහාරාධිපති බැඳීවැව දියසේන හිමියෝ පැවසූහ.

‘මේ ආණ්ඩුව අපි පිහිටුවා ගත්තේ මේ රටේ යහපාලනය ඇති කිරීමටයි. කල්පිටිය අර්ධද්වීපය තුළ පසු ගිය කාලයේ දේශපාලන හෙන්චයියලාගේ මැදිහත් වීමෙන් ඉතා විශාල ඉඩම් සංඛ්‍යාවක් විකුණලා තියනවා’ යනුවෙන් බැඳීවැව දියසේන හිමියෝ කියා සිටියහ.

නීති විරෝධී ලෙස විකුණා දැමුණු ඉඩම් පිළිබඳ තොරතුරු තමන් සතු බවත් පරීක්ෂණ පවත්වා වරදකරුවන්ට දඬුවම් ලබා දෙන ලෙසත් උද්ඝෝෂකයෝ ඉල්ලා සිටිති.

දේශපාලන උවමනාවන් මත වෙනත් ප්‍රදේශයකට මාරු කළ කල්පිටිය පොලිස් ස්ථානාධිපති ප්‍රදීප් මංජුල උඩුමලගල නැවත කල්පිටිය පොලිස් ස්ථානාධිපති වශයෙන් පත් කරන ලෙසත් උද්ඝෝෂකයෝ ඉල්ලා සිටියහ.

කල්පිටිය පොලිසිය නීතිය නිසි ලෙස ක්‍රියාත්මක නොකරන බවටද උද්ඝෝෂකයෝ චෝදනා කළහ.

‘නීතියෙන් හරි විදිහට අපිට කිසිම දෙයක් ඉෂ්ට කරන්නේ නැහැ පොලිසියේ. සල්ලි තියන අයට එක විදිහක්, දුප්පත් අයට එක විදිහකටත් මැනලා බලන්නේ’ යනුවෙන් උද්ඝෝෂණයට සහභාගී වී සිටි කල්පිටියේ කාන්තාවක් පැවසුවාය.