'කුමන්ත්‍රණයේ වාර්තාව සතියකින්'

ඡන්ද ප්‍රතිඵල නිකුත් වූ රාත්‍රියේ දී ජයග්‍රහණය කළ පාර්ශවයට බලය නොදී තව දුරටත් බලයේ රැඳී සිටීම සඳහා සිදු වූ බව පැවසෙන කුමන්ත්‍රණය පිළිබඳව පරීක්ෂණ වාර්තාව සතියක් ඇතුළත ලබා ගැනීමට ජාතික විධායක සභාව සැරසෙයි.

මේ සඳහා ජාතික විධායක සභාවේ සියළු දෙනා එකඟ වී ඇති බවත් එම පරීක්ෂණය වෙනුවෙන් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයෙකු පත් කළ යුතුය යන ස්ථාවරයටත් පැමිණි බව ජාතික විමුක්ති පෙරමුණේ නායක ප්‍රකාශ කළේය.

ජාතික විධායක සභාව අද (20) රැස්වීමෙන් අනතුරුවයි එහි සාමාජික අනුර කුමාර දිසානායක මේ බව මාධ්‍යයට දැනුම් දුන්නේ.

දූෂණ කොමිසම

යෝජිත ව්‍යවස්ථා සංශෝධනයන් පිළිබඳවද අද රැස් වූ ජාතික විධායක සභාව දීර්ඝ වශයෙන් සාකච්ඡා කළ අතර ඒවා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරෙන දින වකවානු පිළිබඳව එකඟතාවකට පැමිණි බව ඔහු තව දුරටත් පැවසීය.

වංචා හෝ දූෂණ කොමිසමේ අධ්‍යක්‍ෂ ජනරාල්වරයා ඉවත් කර එම තනතුරුට වෙනත් සුදුස්සෙකු පත් කර එම කොමිසමට නීතියේ රැකවරණ ලැබෙන පරිදි කැබිනට් මණ්ඩලයේ අනුමැතිය ලබා ගැනීමට මෙහිදී එකඟ වූ බවයි අනුර කුමාර දිසානායක කියා සිටියේ.

මන්ත්‍රීන්ට හොඳ නරක

මීට අමතරව පසුගිය වකවානුව තුළ සිදු වූ බව පැවසෙන මුදල් වංචා, මනුෂ්‍ය ඝාතන, පහර දීම් සහ පැහැර ගෙන යාම් පිළිබඳ නිසි පරීක්ෂණ පවත්වා වැරදිකරුවන් නීතිය ඉදිරියට ගෙන ඒමට ක්‍රමවේදයක් සකස් කිරීමටද ජාතික විධායක සභාව එකඟ වී තිබේ.

යුද්ධයෙන් පසුව එම පලාත්වල තිබූ වාහන සහ රත්‍රන්වලට සිදු වූ දෙය සොයා බැලීමට විශේෂ ඒකකයක් පිහිටුවීමත් මැති ඇමතිවරුන් සඳහා ආචාර ධර්ම පද්ධතියක් හඳුන්වා දීමත් ඇතුළු වැදගත් කරුණු කිහිපයකටම ජාතික විධායක සභාව එකඟ වූ බව එහි සාමාජික අනුර කුමාර දිසානායක තවදුරටත් පැවසීය.

මේ පුවතට සම්බන්ධ තවත් විස්තර