ඔබේ දුරකථනයේ හෝ පරිගණකයේ මෙය වාදනය කිරීමට අදාළ මෘදුකාංග නැත

'දූෂිතයන්ට දඬුවම් දිය යුත්තේ ප්‍රජාතන්ත්‍රවාදයට අනුවයි'

දූෂණ චෝදනා එල්ල වන දේශපාලනඥයන්ට දඬුවම් කළ යුත්තේ ප්‍රජාතන්ත්‍රවාදී සම්ප්‍රදායන්ට අනුරූපව බව කොළඹ විශ්වවිද්‍යාලයේ මහාචාර්ය සරත් විජේසූරිය පවසයි.

මීළඟ මහ මැතිවරණයට පෙර දින සියය ඇතුළත දැනට පවතින පාර්ලිමේන්තුව හරහා ඊට අවශ්‍ය නෛතික රාමුව ගොඩ නගා ගත යුතු බවයි මහාචාර්යවරයා කියා සිටියේ.

මහාචාර්යවරයා ඒ බව කියා සිටියේ මෙයින් වසර හත්සීය පනහකට පෙර බ්‍රිතාන්‍ය රාජාණ්ඩුවේ බලය සීමා කරමින් බ්‍රිතාන්‍ය තුළ ප්‍රජාතන්ත්‍රවාදය ආරම්භ වූ අවස්ථාව පිළිබඳව බීබීසීයේ සුනෙත් පෙරේරා සමඟ සාකච්ඡාවකට එක් වෙමින්.

"කාටවත් ඕන විදිහට ආවේගාත්මකව ඒ කටයුතු කරන්න බැහැ. ඒ නිසා ඊට අවශ්‍ය ආයතන ස්ථාපිත කිරීම අවශ්‍යයි. දෝෂාරෝපණයට ලක් වෙච්ච පුද්ගලයෝ පවා මේ අවස්ථාවේදී කියලා තියනවා මේ ව්‍යවස්ථා සංශෝධනයට සහාය දෙනවා කියලා. ඒක මම දකින්නේ හොඳ ප්‍රවණතාවක්," සරත් විජේසූරිය මහාචාර්යවරයා කියා සිටියේය.

"මේක දකින්න ඕනි ප්‍රකෘතිමත් ගමනක් සඳහා ඇති කර ගත් තාවකාලික අවකාශයක් හැටියට. හැබැයි එහෙම සහයෝගය දුන්නා කියලා ඒකෙන් කිසිසේත්ම ඒ පුද්ගලයෝ නිදොස් පුද්ගලයෝ බවට පත් වෙන්නෙ නැහැ," මහාචාර්යවරයා පැවසීය.

'සුභවාදී බලාපොරොත්තු'

ශ්‍රී ලංකාව ප්‍රජාතන්ත්‍රවාදී රාජ්‍යයක් ලෙස යම් කිසි ප්‍රසිද්ධියක් ඉසිලූ නමුත් විධායක ජනාධිපති ක්‍රමය හඳුන්වා දීමත් සමග ශ්‍රී ලාංකිකයන් භුක්ති විඳිමින් තිබූ ප්‍රජාතන්ත්‍රවාදයේ වටිනා ධර්මතා ක්‍රමයෙන් ගිලිහී යෑමට පටන් ගත් බවත් ඔහු සඳහන් කළේය.

"මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා බලයට පත් වුණාට පස්සේ ප්‍රජාතන්ත්‍රවාදයේ නාමයෙන් තිබුණු හුඟක් සාධනීය දේවල් ඉතාමත් නොමනා ආකාරයට ඔහු මහජනතාවට අහිමි කළා," මහාචාර්යවරයා කියා සිටියේය.

ප්‍රජාතන්ත්‍රවාදී මූලධර්ම රට තුළ ස්ථාපිත කිරීම සඳහා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ කැපවීමෙන් කටයුතු කරනු ඇතැයි යන්න රටේ බහුතරයක් ජනතාවගේ විශ්වාසය වන බව පවසන මහාචාර්යවරයා, විධායක ජනාධිපති ධුරයේ රැඳී සිටීමට උවමනාවක් නොමැති බව ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන පවසා තිබෙන බැවින් නව ආණ්ඩුව යටතේ ශ්‍රී ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදය දෙස තමාට සුභවාදී බලාපොරොත්තු තැබිය හැකි බව ද සඳහන් කළේය.

ඉතිහාසයේ ප්‍රථම වරට ප්‍රධාන පක්ෂ දෙක අතර සහසම්බන්ධතාවක් ගොඩනැගී ඇති බැවින් ප්‍රජාතන්ත්‍රවාදය ස්ථාපිත කිරීම සඳහා අවශ්‍ය සියලු අවකාශයන් නිර්මාණය වී ඇති බවත් ඔහු සඳහන් කළේය.

ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන ඇතුළු නව සන්ධානයට ජනතාව හමුවේ දුන් පොරොන්දු කඩ කිරීමට නොහැකි තත්වයක් පවතින බවත් එම පොරොන්දු ඉටු නොකරන්නේ නම් මාස තුනක් ඇතුළත පැවැත්වීමට නියමිත මහ මැතිවරණයේදී පක්ෂ දෙකම ප්‍රතික්ෂේප කිරීම සඳහා ජනතාවට අවස්ථාවක් හිමි වන බවත් මහාචාර්ය සරත් විජේසූරිය වැඩිදුරටත් පැවසුවේය.