අගවිනිසුරු ඉල්ලා අස්වීමට එකඟ වුනා - රාජිත

Image copyright AFP
Image caption හිටපු ජනාධිපතිවරයා සමඟ එක්ව කුමන්ත්‍රණය කළ බවට අගවිනිසුරු මොහාන් පීරිස් ට චෝදනා

අගවිනිසුරු මොහාන් පීරිස් පදවියෙන් ඉල්ලා අස්වීමට එකඟ වී ඇති බව සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න පවසයි.

පක්ෂ විධායක සභා රැස්වීමේදී ඒ බව අනාවරණය වූ බවයි, අමාත්‍යවරයා කොළඹ දී මාධ්‍යවේදීන් හමුවේ කියා සිටියේ.

මේ පිළිබඳව විමසීම පිණිස අගවිනිසුරු මොහාන් පීරිස් ගේ දුරකථනයට ඇමතූ අවස්ථාවේ එයට පිළිතුරු දුන් ඔහුගේ ලේකම්වරියක් කියා සිටියේ තමන් ඒ පිළිබඳව කිසිවක් නොදන්නා බවයි.

ජනාධිපතිවරණයෙන් පරාජය වීමෙන් අනතුරුව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ දිගටම බලයේ රැඳී සිටීමට කුමන්ත්‍රණය කළ බවට ආණ්ඩුව චෝදනා කරයි.

'පැය 72 මෙහෙයුම'

අගවිනිසුරු මොහාන් පීරිස් ද එම කුමන්ත්‍රණයේ පාර්ශවකරුවකු වූ බව පවසමින් විදේශ අමාත්‍ය මංගල සමරවීර රහස් පොලිසියට පැමිණිල්ලක් ඉදිරිපත් කොට තිබේ.

Image caption ජනවාරි 09 වැනි දින උදෑසන හිටපු ජනපතිවරයා සහ හිටපු ආරක්ෂක ලේකම්වරයා සමඟ අගවිනිසුරුවරයාද ජනපති මන්දිරයේ සිටි බව අමාත්‍ය සේනාරත්න පවසයි

'පැය 72 මෙහෙයුම' ලෙසින් එම ක්‍රියාදාමය විග්‍රහ කරන රාවය පුවත්පත පවසන්නේ, තවත් වසර දෙකක් තමන්ට බලයේ රැදී සිටීමට නීතිමය ප්‍රතිපාදන පවතින බවට අගවිනිසුරුවරයා ලවා මතයක් ප්‍රකාශ කරවා ගැනීම හිටපු ජනාධිපතිවරයාගේ අභිප්‍රාය වී තිබූ බවයි.

නව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ට බලය පවරා දීම පිළිබඳව සාකච්ඡා කිරීම පිණිස එවකට විපක්ෂනායක රනිල් වික්‍රමසිංහ ජනවාරි 09 වැනි දින උදෑසන අරලියගහ මන්දිරයට ගිය අවස්ථාවේ හිටපු ජනපතිවරයා සහ හිටපු ආරක්ෂක ලේකම්වරයා සමඟ අගවිනිසුරුවරයාද එහි සිටි බව අමාත්‍ය රාජිත සේනාරත්න මාධ්‍යවේදීන් හමුවේ පැවසීය.

මේ චෝදනා පිළිබඳව විමසීම පිණිස මීට දින කිහිපයකට ඉහත දී සංදේශයේ සරෝජ් පතිරණ අගවිනිසුරුවරයා ඇමතූ අවස්ථාවේ දුරකථනයට පිළිතුරු දුන් ඔහු, ඉන් අනතුරුව වහාම එය විසන්ධි කළේය.

මේ පුවතට සම්බන්ධ තවත් විස්තර