ඔබේ දුරකථනයේ හෝ පරිගණකයේ මෙය වාදනය කිරීමට අදාළ මෘදුකාංග නැත

බැසිල් පරාජයට හේතුවක් - විමල්

බැසිල් රාජපක්ෂ හිටපු අමාත්‍යවරයාගේ ක්‍රියා කලාපය හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ පරාජයට එක් ප්‍රධාන හේතුවක්වූ බව ජාතික නිදහස් පෙරමුණේ නායක හිටපු අමාත්‍ය විමල් විරවංශ පවසයි.

බැසිල් රාජපක්ෂ හිටපු අමාත්‍යවරයා සියල්ල ඒකාධිකාරියක් ලෙස තම අතට ගෙන කටයුතුකිරිම වැළැක්වීමට කටයුතු නොකිරීම නිසා මහින්ද රාජපක්ස ජනාධිපතිවරයා පවුල් පාලනයක් ගෙනයන බවට ගෙන ගිය මතය නිශේධනය කිරීමට නොහැකිවූ බවයි විමල් විරවංශ හිටපු අමාත්‍යවරයා බිබිසි කොළොඹ වාර්තාකරු අසාම් අමීන් සමග සාකච්චාවකට එක්වෙමින් පැවසුවේ.

බාධාව බැසිල්

සිදුකල යුතු ඇතැම් වෙනස්කම් පිළිබඳව රජයේ අවධානය යොමුව තිබුනත්, බැසිල් රාජපක්ෂ හිටපු අමාත්‍යවරයා වැනි පිරිස් එවන් ප්‍රතිසංස්කරණ සිදුකිර්මට ඉඩ ලබා නොදුන් බවයි මන්ත්‍රීවරයා පැවසුවේ.

සමාජයේ මධ්‍යම පන්තිය තුල ආණ්ඩුව සම්බන්ධයෙන් තිබුණු කලකිරීම් පිළිබඳව සංවේදීව කටයුතු නොකිරීම හිටපු ජනාධිපතිවරයාගේ පරාජයට එක් හේතුවක් වුවත්, සමස්තයක් වශයෙන් ඔහුගේ පරාජයට හේතුව වුයේ උතුරු හා නැගෙනහිර පළාත් වලින් මෛත්‍රිපාල සිරිසේන ජනාධිපත්විරයට ලැබුණු ඉතා ඉහල ප්‍රතිචාරය බවයි මන්ත්‍රීවරයා පැවසුවේ.

හිටපු ජනාධිපතිවරයාගේ පරාජයට විමල් විරවංශ හේතුවූ බවට අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ ඊයේ කළ ප්‍රකාශයට පිලිතුරු දෙමින් මන්ත්‍රීවරයා පැවසුවේ තමන්ගේ ක්‍රියා කලාපය නිසා හිටපු ජනාධිපතිවරයාට ඡන්දයක් වැඩිවූවා මිස අඩු නොවූ බවයි.

අපහාස

මෙහිදී බිබිසිය අය්යෝ සිරිසේන වැනි ප්‍රකාශ සිදුකරමින් මැතිවරණ වේදිකාවේදී අපහාසාත්මක කතා සිදු කල බවට එල්ලවෙන චෝදනාව පිළිබඳව මන්ත්‍රීවරයාගෙන් විමසු අතර ඔහු පැවසුවේ කිසිදු අපහාසාත්මක ප්‍රකාශයක් ඔහු සිදු නොකළ බවයි.

රනිල් වික්‍රමසිංහ අගමැතිවරයා විවේචනය කරමින් තමන් පසු ගිය කාලයේ සිදුකල කතාවලටත් එසේ විවේචන එල්ලවූ බව පැවසූ මන්ත්‍රීවරයා පැවසුවේ තම කතාවේ වටිනාකම හැල්ලු කිරීම සදහා එලෙස විවිධ චෝදනා එල්ලකරන බවයි.

පෞද්ගලිකව අපහාස කිරීමේ කිසිදු අභිලාශයක් තමන්ට නොමැති බව පැවසූ මන්ත්‍රීවරයා එසේ අපහාසයක් සිදුවුවානම් කනගාටුවිම හැර තමන්ට කළ හැකි දෙයක් නොමැති බවද පැවසුවේය.

බහුතරය මහින්දට

මෛත්‍රිපාල සිරිසේන ජනාධිපතිවරයා තම ජනාධිපති බලය යොදා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තම අතට ගත්තද ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ බහුතර පාක්ෂිකයන් තවමත් සිටින්නේ හිටපු ජනාධිපතිවරයා සමග බවයි විමල් විරවංශ පැවසුවේ.

ඉදිරි පාර්ලිමේන්තු මැතිවරණයේදී එක්සත් ජාතික පක්ෂය ප්‍රමුඛ මෙම රජය බිද දැමීමට අවශ්‍ය දේශපාලන නායකත්වය තමන් ගොඩනගන බවද මන්ත්‍රීවරයා මෙහිදී පැවසුවේය.